කුණු බෑගයක් දමා ගිය කොස්තාපල් හා රියැදුරු දැලේ

සපත්තු පාලම අසලට කුණු බෑගයක් දමා ගිය කොස්තාපල් හා ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට

by Staff writer 10-09-2019 | 10:44 AM
COLOMBO (News 1st) : නාවලපිටිය, දඹගල්ල, සපත්තු පාලම අසලට කසල බෑගයක් දමා ගිය පොලිස් කොස්තාපල් හා ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩගුවට ගෙන තිබේ. එම කසල බෑගයට අදාළ ආපන ශාලා හිමිකරුවා පෙරේදා අත්අඩගුවට ගැනිණ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. ආපන ශාලා හිමිකරු විසින් අදාළ කසල බෑගය ආපන ශාලාවට පැමිණි පොලිස් කොස්තාපල්වරයාට හා ත්‍රිරෝද රථ රියැදුරුට ලබාදී තිබූ අතර ඔවුන් දෙදෙනා එය නාවලපිටිය, දඹගල්ල, සපත්තු පාලම අසලට දමා ගොස් තිබිණ. පොලීසිය පැවුසවේ, ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමක් අනුව එම කසල බෑගයේ තිබූ බිල්පත්වල සඳහන් දුරකතන අංක ඔස්සේ විමර්ශන සිදුකර ප්‍රථමයෙන් ආපන ශාලාහිමිකරු අත්අඩංගුවට ගත් බවයි. අනතුරුව පොලිස් කොස්තාපල් සහ රියැදුරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර තිබිණ.