අස්ථානගතවූ ලේඛනවලින් කොටසක් හමුවෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අස්ථානගතවූ ලේඛනවලින් කොටසක් හමුවෙයි

by Staff writer 10-09-2019 | 1:45 PM
COLOMBO (News 1st) : අස්ථානගතවී ඇතැයි පැවසෙන ලිපි ලේඛනවලින් ප්‍රමාණයක් යළි හමුවී ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. ඔහු පැවසුවේ, මීට වසර 10 කට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ලේඛනාගාරයට හානි සිදුවීමත් සමඟ එහි තිබූ ලේඛන තාවකාලිව කන්ටේනර් බහාලුම් තුනක රඳවා තබා ඇති බවයි. අදාළ කන්ටේනර් තුළ ඇති ලිපි ලේඛන ස්ථාපිත නව ලේඛනාගාරයක තැන්පත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බව ද ඔහු පැවසී ය. එහි තිබී අස්ථානගත වු බව කියන අදාළ ලිපි ගොනුවලින් කොටසක් හමුවී ඇතැයිද, ඔහු සඳහන් කළේ ය. කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අනෙක් ලිපි ගොනු ද, කන්ටේනර් බහාලුම් තුළ පවතිනු ඇති බවට විශ්වාස කරන බවයි. ඒ සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පත් කර ඇතැයිද, ඔහු පැවසී ය. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් නොවූ මෝටර් රථ විශාල සංඛ්‍යාවක් රට තුළ පවතින බව රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී අනාවරණය විය. මෙහිදී හෙළිවුණේ ඇතැම් අංක ඛාණ්ඩවලින් පිළිවෙලින් වාහන ලියාපදිංචි කර නොමැති බවයි. එමෙන්ම මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ ද බරපතළ අඩුපාඩු පවතින බම මෙම විමර්ශනයේදී අනාවරණය විය.