තිලංග සුමතිපාලට ක්‍රීඩා ඇමතිගෙන් තහනමක්

තිලංග සුමතිපාලට ක්‍රීඩා ඇමතිගෙන් තහනමක්

by Staff writer 10-09-2019 | 3:29 PM
COLOMBO (News 1st) - ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනතේ 39/1 වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ විධානයක් නිකුත් කර තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විධායක කමිටු සාමාජිකයෙකු ලෙස, ආසන්නතම හිටපු සභාපතිවරයා ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ කිසිදු ආකාරයක තනතුරු දැරීම වළක්වාලමිනි. හිටපු සභාපතිවරයා හට ඔහු සතුව තිබූ බලය යොදා ගැනීම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කිරීම මේ අනුව තහනම් වේ. හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව සිදු කිරීමට නියමිත විමර්ශනයක් හේතුවෙන් මෙම තාවකාලික විධානය ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර තිබේ. මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පිළියන්දල ක්‍රීඩා සමාජය 2019 වසරේ අගෝස්තු මස 30 වන දින ගොනු කළ විරෝධතාවක් හේතු කොට ගෙන මෙම විමර්ශනය සඳහා තිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව ය. ඒ අනුව ක්‍රීඩා පනතේ 39/3 වගන්තිය යටතේ ඉදිරි පියවර ගැනීමට නියමිත ය. ඒ අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ නිතී නිලධාරිනී ශිරෝමි රණවක කමිටු ලේකම්වරිය ලෙස ද, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා පරිපාලන නිලධාරී නීතිඥ එස්.ඩී. ප්‍රියදාස මහතා සමාජිකයෙකු ලෙස ද කටයුතු කරති. මෙම ත්‍රිපුද්ගල කමිටුව විසින් 2019/09/09 දින සිට මාසයක කාලයක් ඇතුළත අදාළ විමර්ශනය සිදු කර එහි වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දිය යුතු ය. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීවරයෙකු හෝ හිටපු සභාපති ලෙස තිලංග සුමතිපාල මහතාට කටයුතු කිරීමට හැකි ද යන්න පිළිබඳව වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දීමට කටයුතු කරනු ඇති.