උතුරු කොරියාව රහසේ ම මිසයිල 2ක් අත්හදා බලයි

උතුරු කොරියාව රහසේ මිසයිල 2ක් අත්හදා ඇති බවට වාර්තා

by Staff writer 10-09-2019 | 6:56 AM
COLOMBO (News 1st) : උතුරු කොරියාව රහසේ මිසයිල දෙකක් අත්හදා බලා ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ය. දකුණු කොරියානු ඒකාබද්ධ කාර්ය මණ්ඩල ප්‍රධානියා සඳහන් කළේ, උතුරු කොරියාවේ ප්යොන්ගැන් පළාතේ සිට නැගෙනහිර දෙසට මෙම මිසයිල එල්ලකර ඇති බවයි. කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කිරීම සම්බන්ධයෙන් මේ මස අගදී අමෙරිකාව සමඟ සාකච්ජා ඇරඹීමට කැමති බව උතුරු කොරියාව පවසා දිනකට පසු මෙම අත්හදා බැලීම සිදුකිරීම විශේෂත්වයකි. අමෙරිකානු සහ උතුරු කොරියානු නායකයන් අතර ඉකුත් ජුනි මාසයේදී පැවති , න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ සාකච්ජාවලින් පසුව උතුරු කොරියාව මිසයිල අත්හදා බැලූ අට වන අවස්ථාව මෙයයි . වියට්නාමයේ හැනෝයි නුවර උතුරු කොරියානු සහ අමෙරිකානු නායකයන් අතර පැවති දෙවන හමුවෙන් පසු න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ සාකච්ජා ඇණහිට තිබිණ. උතුරු කොරියාව මෙතෙක් අත්හදා බලා ඇත්තේ කෙටි දුර බැලිස්ටික් මිසයිල පමණක් වන අතර උතුරු කොරියානු නායකයා මිසයිල අත්හදා බැලීමට කැමැත්තක් දක්වන බව පවසමින් මෙම අත්හදාබැලීම් සුළු කොට තකන බව හඟවන ප්‍රකාශයක් නිකුත් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් අගෝස්තු මස පියවර ගත්තේ ය. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ, කලාපයේ අසල්වැසි රටවල් සමඟ එක්ව උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවයි. සිය රටට එල්ලවිය හැකි හමුදාමය තර්ජනවලින් වැළැකීමට සහ ආරක්ෂාව තර කිරීමේ අරමුණින් මෙලෙස නව ආයුධ වැඩිදියුණු කිරීමේ නිරතවන බව උතුරු කොරියාව මීට පෙර පවසා තිබිණ.