අකිලගේ ලිපියට සුජීවගෙන් පිළිතුරු

අකිලගේ ලිපියට සුජීවගෙන් පිළිතුරු

by Staff writer 10-09-2019 | 6:47 PM
COLOMBO (News 1st) - පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කර ඇතැයි පවසමින් පසුගියදා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා යොමු කළ ලිපියට කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පිළිතුරු දී තිබේ. කිසිදු වෘත්තීය භාවයකින් තොරව පසුගිය මස 26 වන දා ෆැක්ස් මාර්ගයෙන් එවන ලද ලිපියේ අන්තර්ගත කරණු සලකා බලන විට එය මහ ලේකම්වරයා විසින්ම යොමු කළ එකක් ද යන්න සැකයක් ඇති වන බව සුජීව සේනසිංහ මහතාගේ ලිපියේ සඳහන් ය. අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමේ අරමුණින් මෙවැනි ලිපියක් යොමු කරන්නට ඇති බව තමන්ට හැඟෙන බව ද සේනසිංහ මහතා මෙහි සඳහන් කර තිබේ. සේනසිංහ මහතා ඉල්ලා සිටින්නේ, මෙම ලිපිය ලේකම්වරයා නොව වෙන අයෙකු විසින් යොමු කරන ලද එකක් නම් එවැනි ක්‍රියාවක් සිදු කළ පුද්ගලයාට හෝ පුද්ගලයින්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ය. මුලින්ම කළ යුත්තේ, ලැබී ඇති පැමිණිල්ලේ පිටපතක් තමන් වෙත යොමු කිරීම බව සේනසිංහ මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබේ. මේ අතර පක්ෂ ව්‍යවස්ථාව කඩ කර ඇතැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා එවා තිබූ ලිපියකට කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඊයේ ලිඛිතව පිළිතුරු භාර දුන්නේ ය.