ගුරු පරපුර දැනුමෙන් යාවත්කාලීන විය යුතුයි

ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනපති කියයි

by Staff writer 09-09-2019 | 6:03 PM

COLOMBO (News 1st) - අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, උතුරුමැද පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයට අද පෙරවරුවේ එක් වෙමිනි. උපාධිධාරී ගුරුවරුන් 538 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීම මෙහිදී සිදු කෙරුණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, දැනුමෙන් සහ වෙනස්වන ලෝකයට ගැලපෙන නිර්මාණාත්මක කුසලතාවලින් පරිපූර්ණ අනාගත පරපුරක් බිහි කිරීමට ගුරුවරයාට පැවරී ඇති වගකීම අතිමහත් බවයි. නවීන තාක්ෂණය සමග ඉදිරියට යන දරුවන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවන් ද පෝෂණය කරමින් යහපත් පරපුරක් ගොඩනැගීමට ද ගුරුවරයා වෙත වගකීමක් ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.