කංජිපානි ඉම්රාන් රක්ෂිත බන්ධනාගාරයට

කංජිපානි ඉම්රාන් ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 09-09-2019 | 4:22 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ, පොලිස් නිලධාරියෙකුට දුරකතනය ඔස්සේ මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි. පසුගිය ජනවාරි 07 වන දා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් සමග කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට අනියුක්ත කොට්ඨාස වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබිණි. එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, 36 හැවිරිදි කේමදාසන් දුෂ්‍යන්තන් නැමැති අයෙකි. පසුව කංජිපානි ඉම්රාන් විසින් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන් පැතුම් කුමාර නැමැත්තාට අත්අඩංගුවට ගත් සැකකරු නිදහස් කරන්නැයි දුරකතනය ඔස්සේ මරණ තර්ජන කරනු ලැබ තිබේ. පොලීසිය සඳහන් කළේ, එම දුරකතන ඇමතුම අදාළ පොලිස් නිලධාරියා විසින් පටිගත කර පසුව ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබූ බවයි. ඒ අනුව නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේදීය.