අළු බදුන ක්‍රිකට් කුසලානය මෙවරත් ඔස්ට්‍රේලියාවට

අළු බදුන ක්‍රිකට් කුසලානය මෙවරත් ඔස්ට්‍රේලියාවට

by Staff writer 09-09-2019 | 6:54 AM
COLOMBO (News 1st): මෙවර අළු බඳුන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ සිව්වැනි තරගයෙන් ලකුණු 185ක ජයක් ලබා ගනිමිනි. අන්තර් ජාතික ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙය මැන්චෙස්ටර් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙම තරගය ආරම්භ වන විට දෙපිළම තරගාවලියේ සම තත්ත්වයේ පසු වූයේ එක් තරගය බැගින් ජය ගනිමිනි. සිව්වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 497ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවී ය. එංගලන්ත පිළිතුරු ඉනිම ලකුණු 301කි. ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 186ක් රැස් කරගෙන සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවී ය. ලකුණු 383ක ඉලක්කයකින් පිටියට පිවිසි එංගලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 197ක් පමණි. ආරම්භක පිතිකරු ජෝ ඩෙන්ලි ලකුණු 53ක් රැස් කළ අතර පැට් කමින්ස් ලකුණු 43ට කඩුලු 4ක් දවා ගත්හ. ඒ අනුව තරගාවලියේ සිව්වැනි තරගය අවසන් වන විට තරග 2ට 1ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගෙන සිටී. එංගලන්තයට තරගාවලියේ පස්වැනි තරගය ජය ගැනීමට හැකි වුව ද තරගාවලිය අවසන් වන්නේ ජය පරාජයෙන් තොරවයි. ඒ අනුව එලෙස ජය පරාජයෙන් තොරව තරගාවලිය අවසන් වන විට අවසන් වරට තරගාවලිය ජය ගත් කණ්ඩායමට තවදුරටත් ශූරතාව තමන් සතුව පවත්වාගෙන යෑමේ අවස්ථාව හිමි වේ. පසුගියවර අළු බඳුන ශූරතාව දිනූ ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලිය අවසන් වීමට එක් තරගයක් ඉතිරිව තිබියදීම අඛණ්ඩව දෙවැනි වරටත් ශූරතාව තමන් සතුකර ගැනීමට සමත් වූයේ එලෙසයි. අළු බදුන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාව ජයගත් 34 වන තරගාවලිය මෙය වන අතර එංගලන්ත කණ්ඩායම මේ වන විට අළු බදුන තරගාවලි 32 ක් ජයගෙන තිබේ.