කුරුණෑගලදී හෙරොයින් සමග 5ක් දැලේ

හෙරොයින් සමග ඇල්ලූ 5 දෙනාගෙන් දෙදෙනෙක් රඳවා ගෙන ප්‍රශ්න කෙරේ

by Staff writer 09-09-2019 | 7:52 AM
COLOMBO (News 1st) : හෙරොයින් සමග කුරුණෑගලදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික ගුවන් හමුදා සෙබලා සහ තවත් අයෙකු සම්බන්ධයෙන් දින 7ක රැඳවුම් නියෝග ලබා විමර්ශනය කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සෙසු සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වන දා දක්වා බන්ධනාගාරගත කර ඇති බවයි. දුරකතනය හරහා මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතව ඇති අදාළ සැකකරුවන් 5 දෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනිණ. පොලීසිය පැවසුවේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 240 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක් ද සිය භාරයට ගත් බවයි මල්ලවපිටිය, මල්කඩුවාව, මාඑළිය ප්‍රදේශවල පදිංචි 33, 28, 29, 26 සහ 59 යන වයස්වල පසුවන සැකකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසී ය. පොලීසිය පැවසුවේ, එම සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත ඔවුන්ට හෙරොයින් ලබාදෙන පුද්ගලයා වූ 57 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබලා දාගම, මාඑළියේදී අත්අඩංගුවට ගත් බවයි.