by Staff writer 09-09-2019 | 8:09 AM
COLOMBO (News 1st) : ඇෆ්ඝනිස්ථාන සාම සාකච්ජා අවලංගු කිරීමෙන් වැඩි අවාසිය අත්වන්නේ අමෙරිකානුවන්ට බව තලේබාන් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඒ , සාම සාකච්ජා අවලංගු වීම හමුවේ තලේබාන් ත්‍රස්ත ප්‍රහාරවලින් දිවි අහිමිවන අමෙරිකානුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවට අනතුරු අඟවමිනි.
ප්‍රකාශයක් නිකුත්කරමින් තලේබාන් ත්‍රස්තවාදීන් සඳහන් කළේ, අවසන් මොහොත තෙක් අමෙරිකාව සහ තම නියෝජිතයන් අතර පැවති සාම සාකච්ජා යහපත්ව සිදුවූ බවයි.
කෙසේවෙතත් මේරිලන්ඩ් , කෑම්ප් ඩේවිඩ් හිදී තලේබාන් ත්‍රස්තවාදීන් සහ තමන් අතර සිදුවීමට නියමිතවූ රහසිගත හමුව හදිසියේ අවලංගු කළ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්, ඇෆ්ඝනිස්ථාන සාම සාකච්ජා නවතා දමන බව ද නිවේදනය කළේ ය.
ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, පසුගියදා සිදුවූ අමෙරිකානු සෙබලකුගේ ඝාතනයට තමන් සම්බන්ධ බවට තලේබාන් ත්‍රස්තවාදීන් පිළිගැනීම මීට හේතුව බවයි.
දශක දෙකකට ආසන්න කාලයක් පැවති ඇෆ්ඝනිස්ථාන යුද්ධය නිමා කිරීමේ සාම සාකච්ජාවලට අනපේක්ෂිත අයුරින් තිත තැබූ ජනපති ට්‍රම්ප් , තලේබාන් ත්‍රස්තවාදීන්ට සිය හමුදාව යොදාගෙන බලපෑම් එල්ලකරන බවටද ප්‍රතිඥා දුන්නේ ය.
2001 වසරේදී අමෙරිකාව ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කර එවකට පැවති තලේබාන් රජය බලයෙන් නෙරපා හැරියේ ය.
තලේබාන් ත්‍රස්තවාදීන් 2001 වසරේ සැප්තැම්බර් මස 11 වැනි දින අමෙරිකාවට ප්‍රහාර එල්ල කළ අල් කයිඩා ත්‍රස්ත ජාලයට ආරක්ෂිත ස්ථානයක් සැපයීම ඊට හේතුවයි.