වැඩි මිලට තිරිඟු පිටි අලෙවිකරන්නන් සොයා වැටලීම්

වැඩි මිලට තිරිඟු පිටි අලෙවිකරන්නන් ගැන දැනුම්දීමට අංකයක්

by Staff writer 08-09-2019 | 3:15 PM

COLOMBO (News 1st ) - වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළෙඳුන් සෙවීමේ වැටලීම් තරකර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එන්. එස්. එම් ෆවුසර් මහතා සඳහන් කළේ, එවැනි වෙළෙඳුන් පිළිබඳව දැනුම්දීමට දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව  1977 දුරකථන අංකයට අමතා එවැනි වෙළෙන්ඳුන් පිළිබඳව දැනුම් දිය හැකියි. පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, ඊයේ දිනය පුරා කළ දීපව්‍යාප්ත මෙහෙයුම්වලින් වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළෙඳුන් 50 කට අධික පිරිසකට එරෙහිව නීතිමය පියවර ගත් බවයි. පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට සමාගම් පියවර ගත්තේ ය. ඒ පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරවයි. එම අධිකාරිය පැවසුවේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස නම් කර ඇති තිරිඟු පිටි තම අනුමැතියකින් තොරව ඉහළ දැමිය නොහැකි බවයි. ඒ අනුව තවදුරටත් තිරිඟු පිටි අලෙවි කළ යුත්තේ කිලෝ ග්‍රෑමයක් රුපියල් 87 ක මිලකට බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේය. පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළේ, තම අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නැංවූ සමාගම්වලට එරෙහිව නඩු පවරන බවයි. මේ අතර ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 2 කින් ඉහළ දැමී ය. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පැවසුවේ තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් එම තීරණය ගත් බවයි. https://www.youtube.com/watch?v=NVBTeDiKOfY