රෝග සුවකිරීමේ වැඩසටහනකට ගිය දෙදෙනෙකු මරුට

රෝග සුවකිරීම සඳහා පැවැති වැඩසටහනක් අතරතුර දෙදෙනෙකු මරුට

by Staff writer 08-09-2019 | 9:20 PM

COLOMBO (News 1st ) - හොරොව්පතාන රුවන්වැල්ල මධ්‍ය විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ රෝග සුවකිරීම සඳහා යැයි පවසමින් පැවති වැඩසටහනක් අතරතුර පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, අධික උණුසුම දරාගත නොහැකිව ඔවුන් මිය ගොස් ඇති බවයි. අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරන බව පවසමින් මෙම වැඩසටහන ඊයේ රාත්‍රී සිට අද දහවල් දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබූ අතර ඒ සඳහා විවිධ රෝගවලින් පෙළෙන විශාල පිරිසක් එක්ව සිටියහ. ඔවුන් මෙම වැඩසටහනට එක්ව තිබුණේ සමාජ මාධ්‍ය හරහා සිදුකෙරුණු ප්‍රචාර අනුවයි. කෙසේ වෙතත් වැඩසටහන අතරතුර අධික උණුසුම දරා ගැනිමට නොහැකිව, රෝගී තත්ත්වයන් උත්සන්න වීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු හොරොව්පතාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, බරපතළ තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බවයි. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 38 සහ අවුරුදු 80 ක් පමණ වන කළුතර සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. අසාධ්‍ය තත්ත්වයෙන් හොරොව්පතාන රෝහල වෙත ඇතුළත් කළ 18 දෙනාගෙන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. https://www.youtube.com/watch?v=bLZBLD1mKiY