රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වෙයි

සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 06-09-2019 | 12:06 PM
(News 1st) - සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වී තිබේ. දශක තුනක කාලයක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ රොබට් මුගාබේ, මිය යන විට 95 වන වියෙහි පසුවිය. කලක් රෝගාතූරව සිටි රොබට් මුගාබේ, ඉකුත් අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබී ය. 1924 වසරේ පෙබරවාරි මස 21 වන දා රොබට් මුගාබේ උපත ලැබුවේ රොඩේසියාවේදී ය . රොඩේසියා රජය විවේචනය කිරීමේ චෝදනාවට 1964 වසරේ සිට දශකයකට අධික කාලයක් ඔහු බන්ධනාගාරගතව සිටියේ නඩු විභාගයකින් තොරව ය. බන්ධනාගාරගතව සිටියදීම, 1973 වසරේදී රොබට් මුගාබේ සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමයේ සභාපතිවරයා ලෙස තෝරා ගැනිණි. සිම්බාබ්වේ රාජ්‍ය නිදහස ලබා ගැනීමෙන් පසු එරට අග්‍රාමාත්‍ය ධූරයට පත් ප්‍රථම පුද්ගලයා ද රොබට් මුගාබේයි. 1987 වසරේදී ඔහු සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති ධූරයට පත් විය. බලයට පත් වූ මුල් වකවානුවේ කළු ජාතික ජනතාවට සෞඛ්‍යය පහසුකම් සහ අධ්‍යාපනික අවස්ථා ලබාදීම වෙනුවෙන් ඔහු කළ මෙහෙවර ජනතා ප්‍රශංසාවට ලක් විය එහෙත් මතභේදයට තුඩු දුන් ඔහුගේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, සිම්බාබ්වේ රාජ්‍යයේ ආර්ථික පරිහානිය කරා ගෙන ගියේ ජනතා විශ්වාසය ද බිඳ දමමිනි. ඔහුගේ පාලන කාලයේ අවසන් වසර කිහිපය තුළදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. රොබට් මුගාබේ සිම්බාබ්වේ රාජ්‍යයේ විමුක්තියේ සංකේතයකි. නූතන සිම්බාබ්වේ රාජ්‍යයේ පියාණන් ලෙස ද සැලකෙන රොබට් මුගාබේ, 2017 වසරේ නොවැම්බර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් ධූරයෙන් පළවාහැරියේ තිස් වසරක පාලන යුගය නිමාවට පත් කරමිනි.