by Staff writer 06-09-2019 | 8:58 PM
COLOMBO (News 1st ) - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීම පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහාධිකරණය හමුවේ දැඩි විරෝධය පළ කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ, එය නීතියට පටහැනි නියෝගයක් බවයි.
නීතිපතිගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදී තිබියදීත්, ඇප ලබාදීමේ නියෝගය නිකුත් කිරීම දෝෂ සහගත බව දිලීප පීරිස් මහතා මහාධිකරණයට පෙන්වා දුන්නේය.
එහිදී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප්‍රකාශ කළේ, නීතිපති උපදෙස් ඉවත දමා සිය අභිමතය අනුව පමණක් කටයුතු කිරීමේ නීතිමය හැකියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඇත්දැයි යන මුලික ගැටළුව තම අධිකරණය හමුවේ පවතින බවයි.
බලවත් ලෙස රාජකාරිය පැහැර හැරීමේ අපරාධමය වරදක් සිදුකර ඇති බවට ඉදිරිපත් වූ සාක්ෂි අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව මිනී මැරිමේ චෝදනා යටතේ විමර්ශන සිදුකරමින් සිටියදී ඔවුන්ට ඇප ලබාදෙමින් පසුගිය ජුලි 09 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ ඇප නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා අපරාධ
පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගය ආරම්භ කරමින් මහාධිකරණ විනිසුරුවරයා එලෙස ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ, ප්‍රකාශ ලබාගෙන සැකකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරිමට සුදානම් වන විට ඉතා අසාධ්‍ය ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් වූ එම සැකකරුවන්ගේ රෝග තත්ත්වයන් පිළිබදව වැඩිදුර වෛද්‍ය වාර්තාවක් කැදවීමකින් තොරව,විමර්ශන තොරතුරු වාර්තා කිරීමට අවස්ථාවක් නොදී සිදුකළ එම ඇප නියෝගය ඉතා අයුතු සහගත බවයි.
එක් එක් රංගන ශිල්පින්ගේ අවශ්‍යතා අනුව රංගනයේ යෙදීමට අධිකරණයට ඉඩදීමට නීතිපතිවරයා සුදානම් නැතැයිද ඔහු අවධාරණය කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ, උගත් ලංකා ජයරත්න මහේස්ත්‍රාත්වරිය එම ඇප නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම අනුව නීතිපතිවරයා ලබාදුන් උපදෙස් නිසියාකාරව කියවා බැලීමකින් තොරව බවයි.
මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට දැඩි බාධාවක් වී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එකී නියෝගය පිලිගතහොත් රාජකාරි පැහැර හරිනා කිසිදු රජයේ නිලධාරියෙකුට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමේ හැකියාවක් නොලැබෙන බවද කියා සිටියේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අනාවරණය වී ඇති තොරතුරු අනූව හිටපු ආරක්ෂක ලේකම්වරයා හා පූජිත් ජයසුන්දර මහතා ත්‍රස්තවාදීන් සමග කුමන්ත්‍රණයක් කළේයැයි අනුමිතියකට එළඹිය හැකි බවයි.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන 18 වැනිදාට කල් තැබුවේය.