"බලපොරයක කොටස්කරුවකු වීමේ අදහසක් නෑ"

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙසට කථානායකට ඉල්ලීමක්

by Staff writer 06-09-2019 | 10:24 PM

COLOMBO (News 1st) - ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන ප්‍රධානීන් 40 කට අධික පිරිසක් අද කථානායක කරූ ජයසූරිය මහතා හමුවී ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටි බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එහිදී එම සංවිධානයන්ට කථානායක කරූ ජයසූරිය මහතා පිළිබදව දැඩි විශ්වාසයක් පවතින බවත්, ඉදිරි ජනාධිපතිවරණයේදී පැසිස්ට්වාදී තර්ජනයන්ට මුහුණ දීම සදහා නායකත්වය ගන්නා ලෙසත්, ඉල්ලා සිටි බව එම නිවේදනයේ සඳහන් වේ. සිවිල් සංවිධාන ප්‍රධානීන්ගේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කථානායක කරූ ජයසූරිය මහතා පවසා ඇත්තේ, බලපොරයක කොටස්කරුවකු වීමට තමන් අපේක්ෂා නොකරන බවයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ, එක්සත් ජාතික පෙරමුණේ පාර්ශවකරුවන්ගෙන් තමන්ට ලැබී ඇති ඉල්ලීම් පවා තමන් සලකා බලනුයේ සියළු කොටස් එකමුතු හා සාමූහික ක්‍රියාමාර්ගවලට අවතීර්ණවන්නේ නම් පමණක් බවද කරූ ජයසූරිය මහතා එහිදී සදහන් කර තිබේ.