බ්‍රිතාන්‍ය අගමැතිගේ යෝජනාව පාර්ලිමේන්තුව ඉවත දමයි

බ්‍රිතාන්‍ය අගමැතිගේ යෝජනාව පාර්ලිමේන්තුව ඉවත දමයි

by Staff writer 05-09-2019 | 6:44 AM
COLOMBO (News 1st) ; නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු එම යෝජනාවෙන් ඉල්ලා සිටියේ ඔක්තෝබර් 15 වැනිදා මහමැතිවරණයක් පැවැත්විය යුතු බවයි. කොන්දේසිවලින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ද, ඊයේ වැඩි ජන්ද 27 කින් පරාජයට පත් විය. බ්‍රිතාන්‍යය ගිවිසුමකින් තොරව, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සැලසුම් කර තිබුණේ ලබන මස 31 වැනිදායි. මේ අනුව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දිනය ලබන ජනවාරි 31 වැනිදා තෙක් ප්‍රමාද කිරීමට අදාළ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනු ඇති. යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ පනත් කෙටුම්පත පරාජයට පත්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ විසඳුමකට ඇති එකම මාර්ගය මහ මැතිවරණයක් බවයි. ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු බව, කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ, මහමැතිවරණ යෝජනාව ද ප්‍රතික්ෂේප කරමිනි.