කැරී ලැම් උදර්පන කෙටුම්පත ඉවත් කර ගනී

හොංකොං ප්‍රධාන විධායක නිලධාරිනිය ආන්දෝලනාත්මක උදර්පන කෙටුම්පත ඉවත් කර ගනී

by Staff writer 04-09-2019 | 4:34 PM
COLOMBO (News 1st) : හොංකොං ප්‍රධාන විධායක නිලධාරී කැරී ලැම්, ආන්දෝලනාත්මක උදර්පන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව අද නිවේදනය කළේ ය. ඒ, මාස පහකට අධික කාලයක් පැවති ජනතා විරෝධතා මධ්‍යයේයි. ඇය මෙම තීරණය ගෙන ඇත්තේ, එරට ප්‍රධාන නීතිවේදීන්, ආණ්ඩුවේ නියෝජිතයින් සහ චීන ජාතික ජනතා කොංග්‍රසය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ආන්දෝලනාත්මක පනත් කෙටුම්ත සකස් කර ඇත්තේ දේශපාලන නඩු විභාග කිරීම, චීනයට පවරමිනි. මේ යටතේ එවැනි නඩුවලට පෙනී සිටින සැකකරුවන් චීනයට උදර්පනය කිරීමට යෝජනා වී තිබිණ. ඊට එරෙහිව ජනතා විරෝධතා ආරම්භ වූයේ පසුගිය මාර්තු මස 31 වැනිදායි. පොදු දේපළවලට හානි කරමින්, රාජ්‍ය ආයතන සියතට ගනිමින් ඔවුහු එලෙස අඛණ්ඩ විරෝධතාවල නිරත වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස උදර්පන පනත් කෙටුම්පත තාවකාලිකව ඉවත් කරගන්නා බව, හොංකොං ප්‍රධාන විධායක නිලධාරී කැරී ලැම් පසුගිය ජුනි 15 වන දා ප්‍රකාශ කළා ය. එහෙත් පනත් කෙටුම්පත ස්ථිරව ඉවත් කර, කැරී ලැම්ට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ජනතාව අඛණ්ඩ විරෝධතාවයේ නිරත විය. අදාළ පනත් කොටුම්පත ඉවත් කරගන්නා බව කැරී ලැම් අද නිල වශයෙන් නිවේදනය කළේ ජනතා මතයට හිස නමමිනි.