දුමින්ද දිසානායක අද ජනපති කොමිසමට

හිටපු ඇමති දුමින්ද දිසානායක අද ජනපති කොමිසම හමුවට

by Staff writer 04-09-2019 | 10:35 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ අනුව අද උදෑසන 11.00 ට ඔහු කොමිසම හමුවට කැඳවා ඇති බවයි. ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අධික මුදලකට බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂිදීම සඳහායි. කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල නීතිපති අනුමැතිය යටතේ ලබා ගෙන ඇත්නම් ඊට අදාළ ලිඛිත අනුමැතිය කොමිසම හමුවට ඉදිරිපත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට ජනපති කොමිසම පසුගිය 20 වන දා නියෝග කෙරිණි. ඒ, දුමින්ද දිසානායක මහතා විසින් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිදු කළ ප්‍රකාශයක් මතයි. එවැනි ලිඛිත අනුමැතියක් ලැබී ඇත්නම්, එම ලිඛිත අනුමැතිය ද හිටපු අමාත්‍යවරයා විසින් අද කොමිසම හමුවට ඉදිරිපත් කළ යුතු බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. මෙම විමර්ශනයට අදාළව මීට පෙර ජනපති කොමිසම හමුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් බී. විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සාක්ෂි ලබා දුන් අතර කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පසුගිය 27 වන දා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද සාක්ෂි ලබා දුන්නේ ය. මේ අතර මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩ හා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩී. ආර් ඔල්ගා මහත්මිය පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා තිබේ. ඒ, ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහායි. මේ අතර ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධ ආයතනයකින් මිලදී ගත් තෙල් බවුසර් කිහිපයක් නිරීක්ෂණය කිරීමට ජනාධිපති කොමිසම ඊයේ පියවර ගෙන තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවක සංගමය විසින් අදාළ තෙල් බවුසර් පහසුකම්වලින් අවම මට්ටමේ පවතින බවට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මකයි. සාමාන්‍ය තෙල් බවුසරයක් හා අධික මිලකට මිලදී ගෙන ඇති බවුසර් දෙකක පහසුකම් මෙහිදී කොමිෂන් සභාවේ නිලධාරීන් සොයා බැලුවේ ය. ඒ, කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේයි. එහිදී අනාවරණ වී ඇත්තේ, වැඩි මිලට මිලදී ගත් බවුසර්වල අවම පහසුකම් පවතින බවයි. පැමිණිල්ලට අදාළ වැඩිදුර විභාගය ලබන 16 වැනි දා කැඳවීමට නියමිතවේ.