20 යි 20 තරගාවලියේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය නවසීලන්තයට

by Staff writer 04-09-2019 | 6:58 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගය තියුණු තරගයකින් පසු කඩුලු 4 කින් ජය ගනිමිනි. තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත් විය. පළමු තරගය ලෙසම කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් සහා කුසල් ජනිත් පෙරේරායි. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 34 ක් එක් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 26 කට දැවී ගියේ ය. කුසල් ජනිත් පෙරේරා ලකුණු 11 කට දැවී ගිය අතර අනතුරුව පිටියේ ස්ථාවර වූ අවිශ්ක ප්‍රනාන්දු සහා නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 68 කි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 37 ක් රැස් කළ අතර දසුන් ශානකට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට අවස්ථාවක් හිමිවුනේ නැත. නිරෝශන් දික්වැල්ල ලකුණු 39 ක් රැස් කළ අතර ශෙහාන් ජයසූරිය ලකුණු 20 ක් රැස් කළේ ය. වනිදු හසරංග ලකුණු 11 ක් රැස් කළ අතර ඉසුරු උදාන ලකුණු 13 යි. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 161 කි. පන්දු යැවීමේදී සෙත් රෙන්ස් කඩුලු 3 ක් දවා ගත් අතර ටිම් සවුති සහා ස්කොට් කුගලයින් කඩුලු 2 බැගින් දවා ගත්තේ ය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා යාමට නවසීලන්ත ඉනිම අරඹමින් පිටියට පිවිසියේ කොලින් මුන්රෝ සහ ටිම් සෙයිෆට්. ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 19 කට සීමා කරමින් මුන්රෝ ලකුණු 13 කට දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි ස්කොට් කුගලයින් ලකුණු 8 කට දැවී ගියේ ය. ටිම් සෙයිෆට් ලකුණු 15 කට දැවී යාමෙන් පසු පිටියේ ස්ථාවර වූ කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් සහා ටොම් බෘස් නවසීලන්ත ඉනිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 109 කි. එම සබඳතාව වාර්තා අතරට එක්වූයේ නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් මෙතක් වාර්තා කරගත් හොඳම සබඳතාවය ලෙසයි. නවසීලන්ත ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස සිය ජාත්‍යන්තර විස්සයි විස්සයි දිවියේ දෙවන අර්ධ ශතකය සහා හොඳම ඉනිම ක්‍රීඩා කළ කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් ලකුණු 59 කට දැවී ගිය අතර ලසිත් මාලිංග හා ඉසුරු උදාන පිළිවෙලින් තරගයේ 18 වන හා 19 වන පන්දුවාර 2 ක ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුනේ වනිඳු හසරංගටයි. ඒ වන විට නවසීලන්ත කණ්ඩායමට අවසන් පන්දු 6 තුළ ලකුණු 7ක් ලබාගැනීමට නියමිතව තිබූ අතර එහිදී ක්‍රියාත්මක වූ පළමු පන්දුවේදීම ලකුණු 53 ක් ලබාගෙන සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කරගත් බෘස්ව දක්ෂ ලෙස දවාගැනීමට හසරංග සමත් විය. එම පන්දුවාරයේ දෙවන පන්දුවේ දු ඩාර්ලි මිචෙල්ව ද දවාගැනීමට හසරංග සමත් වූ අතර නමුත් අනතුරුව මිචෙල් සැන්ට්නර් තමන් මුහුණ දුන් පළමු පන්දුවේම ලෝන්ග් ඕන් කලාපය හරහා පහරක් එල්ල කළේ ය. කෙසේ නමුත් ශෙහාන් ජයසූරිය ජයසූරිය දක්ෂ ලෙස එය රැකගත් නමුත් ජයසූරිය හා මෙන්ඩිස් එකිනෙකා මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් ජයසූරිය රැකගත් උඩපන්දුව නතර වූයේ ලකුණු 6 සීමාවෙයි. එහිදී ඔවුන් දෙදෙනා ආබාධයකට ලක්වීම නිසාවෙන් පිටියෙන් ඉවත් වූ අතර නවසීලන්තය 19 වන පන්දුවාරයේ සිව්වන පන්දුවට 4 පහරක් එල්ල කරමින් සිය ජයග්‍රහණය සපුරා ගත්තේ ය. පන්දු යැවීමේදී සිය 20 යි 20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ අකිල ලකුණු 36 ක් තුළ කඩුලු 3 ක් දවා ගත්තේ ය.