මාස 8ක් තුළ අල්ලස් හෝ දූෂණ පැමිණිලි 2,096ක්

මාස 8ක් තුළ අල්ලස් හෝ දූෂණ පැමිණිලි 2,096ක්

by Staff writer 04-09-2019 | 4:05 PM
COLOMBO (News 1st): වසරේ ගත වූ මාස 8 කාලය තුළ අල්ලස් හෝ දූෂණ සිද්ධින් සම්බන්ධයෙන්, පැමිණිලි 2,096 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි. එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ, ඉන් පැමිණිලි 1276 ක් විමර්ශන සඳහා තෝරා ගෙන ඇති බවයි. වසරේ මේ දක්වා ලද පැමිණිලිවලින් 277 ක් අල්ලස් ගැනීමට අදාළ පැමිණිලි වන අතර, දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 873 ක් බව ද විමර්ශන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, අයුතු වත්කම් ඉපැයීමේ සිද්ධීන් සම්බන්ධයෙන්, පැමිණිලි 86 ක් ලැබී ඇති බවයි. ගත වූ මාස 8 ක කාලය තුළ අල්ලස් හෝ දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවට ලද පැමිණිලිවලින් කළ වැටලීම් ගණන 43ක් වන අතර, ඉන් සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සැකකරුවන් අතර විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් වන බවයි. සිද්ධි සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.