පූජිත්ගේ දිවුරුම් ප්‍රකාශය ගැන නීතිපතිගේ විවේචන

පුජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් දිවුරුම් ප්‍රකාශය ගැන නීතිපතිගේ දැඩි විවේචන

by Staff writer 04-09-2019 | 6:14 PM
COLOMBO (News 1st) : අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයක් ඉවත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද ඉල්ලා සිටියේ ය. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ එම දිවුරුම් ප්‍රකාශයෙන් පූජිත් ජයසුන්දර මහතා තමාට ද්වේශ සහගත ලෙස අභූත චෝදනා නගා ඇති බවයි. ජනාධිපතිවරයා, රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හා සමීප දේශපාලන සබඳතා ඇති කිහිපදෙනෙකු සමග එක්ව පූජිත් ජයසුන්දර මහතාට අපරාධ චෝදනා නැගීමට තමා කුමන්ත්‍රණය කරන බව ජුලි 17 වන දා ඉදිරිපත් කළ එම දිවුරුම් ප්‍රකාශයෙන් ඔහු අධිකරණයට පෙන්වා දී ඇතැයි නීතිපතිවරයා පවසයි. නීතිපති දප්පුල ද ලිවේරා මහතා අවධාරණය කරන්නේ එලෙස අභූත චෝදනා නැගීම රජයේ ප්‍රධාන නීති නිලධාරියා වන තමාගේ කීර්ති නාමයට බලවත් හානියක් බවයි. එමගින් අධිකරණය නොමග යැවීමට වගඋත්තරකරු උත්සාහ දරා ඇතැයි ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය. වෘත්තීය ආචාර ධර්ම හා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කර ඇති විත්තියේ නීතිඥවරයා බලවත් වරදක් සිදුකර ඇති බවත්, ඔහු අධිකරණයට අපහාස කර ඇති බවත් , පෙන්වා දුන් නීතිපතිවරයා ඉල්ලා සිටියේ නීතිඥ විරාන් කොරෙයාට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසයි. අදාළ දිවුරුම් ප්‍රකාශයෙන් විත්තියේ නීතිඥා අධිකරණය දේශපාලන වේදිකාවක් බවට පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බැවින්, එයට ඉඩ නොදෙන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ ය. නීතිපතිවරයා ප්‍රකාශ කළේ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කිසිදු දේශපාලනඥයෙකුට තමා කථා කර නොමැති අතර, එසේ කථා කිරීමේ අවශ්‍යතාවක් ද නොමැති බවයි. කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල නඩු විභාගය කෙටි වේලාවකට කල් තබා අධිකරණ ශාලාවෙන් පිටව ගොස් ඇති අතර යළි පැමිණ ඇත්තේ, පැය භාගයට පමණ පසුවයි. එහිදී සත් පුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට දන්වා සිටියේ අද වාචිකව ඉදිරිපත් කළ කරුණු හෙට පෙරවරු 10.30 ට පෙර ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එම ලිඛිත දේශන අධ්‍යයනයෙන් පසු අදාළ දිවුරුම් ප්‍රකාශය ඉවත් කරන්නේ ද නැද්ද යන නියෝගය හෙට නිකුත් කරන බව ද විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ ය.