මහජන බැංකුව ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මහජන බැංකුව පෞද්ගලීකරණය කරන බවට වන ප්‍රකාශ පදනම් විරහිතයි - මුදල් අමාත්‍යාංශය

by Staff writer 03-09-2019 | 6:54 PM

COLOMBO (News 1st) - මහජන බැංකුව පෞද්ගලීකරණයට ලක් කරන බවට ගෙන යන දේශපාලන ප්‍රචාරණ මුළුමනින්ම පදනම් විරහිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය අද නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් විය. පෙරේදා කථානායක කරූ ජයසුරිය මහතාට ලිපියක් යොමු කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ, මහජන බැංකුව පිහිටුවීමට අදාළ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. එහි දෙවැනි වර කියවීම හා විවාදය ඉකුත් අගෝස්තු 22 වැනි දා ඇරඹුණු අතර නැවත විවාදය හා ඡන්ද විමසීම සැප්තැම්බර් 4 වැනි දා පැවැත්වීමට න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බව ද මෙම ලිපියේ සඳහන් විය. මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්‍රය තුළ විවාදාත්මක තත්ත්වයක් පැන නැගී ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබේ. ඔහු කථානායකවරයාට යැවූ ලිපියේ දැක්වෙන්නේ, පාර්ලිමේන්තුව තුළ පුළුල් සංවාදයක් පැවැත්වීම යෝග්‍ය අතර එළඹෙන සතියේදී ඡන්ද විමසීම් නොපවත්වා පක්ෂ නායකයින්ගේ එකඟත්වය ඇතිව ඊට වෙනත් දිනයක් යොදා ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි. මේ අතර මුදල් අමාත්‍යංශය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හරහා මහජන බැංකුව කිසි ලෙසකින් හෝ පෞද්ගලීකරණය නොවන බවයි. මේ සතියේ විවාදයට හා ඡන්ද විමසීමට නියමිත මහජන බැංකු පනතේ සංශෝධන කෙටුම්පතෙහි ඇති 13 වැනි වගන්තිය සංශෝධනය නොකරන බැවින් මහජන බැංකුව පෞද්ගලීකරණයවීම යනු සම්පූර්ණ අසත්‍යයක් බව එම නිවේදනයේ දක්වා තිබේ. මහජන බැංකු පනත සශෝධනයෙන් පසු නිකුත් කෙරෙන ණය කර කිසිසේත් කොටස් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කළ නොහැකි යැයි රජය තහවුරු කරන බව ද මුදල් අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් විය. මෙම මහජන බැංකු පනත සංශෝධන ක්‍රියාවලිය ආරම්භ වුයේ 2013 වසරේදී බවත් පනත් කෙටුම්පතින් බැංකුව පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කරන බවට ඇතැම් දේශපාලන නායකයින් කරන ප්‍රකාශ මහජනයා නොමග යවා පටු දේශපාලන වාසි ලබා ගැනීමට දරන ප්‍රයත්න මිස සත්‍යය නොවන බවත් මුදල් අමාත්‍යාංශය අවධාරණය කර ඇත.