ඉන්දියාව සමග යුද්ධයකට නොයන බව පකිස්ථානය කියයි

ඉන්දියාව සමග යුද්ධයකට නොයන බව පකිස්ථාන අගමැති කියයි

by Staff writer 03-09-2019 | 6:44 AM
COLOMBO (News 1st) : තම රට කෙදිනකවත් ඉන්දියාව සමග යුද්ධයකට මුලපුරන්නේ නැතැයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.  ඔහු අවධාරණය කලේ තම රට ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීමේදීද මුල් නොවන බවයි. රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මීට පෙර පකිස්ථානය සහ ඉන්දියාව දෙරටම න්‍යෂ්ටික අවි සතු රටවල් බැවින් දෙරට අතර යුධමය තත්ත්වයක් සමස්ථ ලෝකයටම තර්ජන එල්ලකරනු ඇතැයි පවසා තිබුණා. කිසිඳු ගැටලුවකට යුද්ධය පිළියමක් නොවන බව ද පැවසූ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා යුද්ධයක ජයග්‍රාහකයා පරාජිතයකු බව ද ප්‍රකාශ කළේ ය. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, යුද්ධය තවත් ගැටලු රාශියකට මුලපුරනු ඇති බවයි. ඉන්දියාව ජම්මු කාශ්මීරයට දුන් විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමෙන් පසු දෙරට අතර මතභේදාත්මක තත්ත්වය උත්සන්න විය. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, දුරකථනයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමතූ තමන් සාකච්ජා මාර්ගයෙන් කාශ්මීර අර්බුදය විසඳා ගැනීමේ වැදගත්කම තමන් අවධාරණය කළ බවයි.