ඇල්පිටිය ප‍්‍රා. සභාවේ ඡන්දය ඔක්තෝබර් 11 වැනි දා

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්දය ඔක්තෝබර් 11 වැනි දා

by Staff writer 03-09-2019 | 6:23 PM

COLOMBO (News 1st) - ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන මස 11 වැනි දා පැවැත්වීමට නියමිත බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර තිබේ.

ගාල්ල තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබිණි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 30 වන දා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරි පත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ ලේකම්වරයා ගොනු කළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය පිළිගන්නා ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී තේරිම්භාර නිලධාරියාට නියෝග කර තිබේ.