අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්වරුන්ටත් කූඩුවට නගින්න අවශ්‍ය ලිපිගොනු හදලා ඉවරයි - ජනපති

by Chathuranga Rajapaksha 03-09-2019 | 7:28 PM

COLOMBO (News 1st): ආණ්ඩුව අපකීර්තියට පත් කළ මහ බැංකු කොල්ලයේ වගඋත්තරකරුවන් මේ රටේ දේශපාලනයෙන් වහා ඉවත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68වන මහ සමුළුව අමතමිනි. එහිදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙලෙස කියා සිටියේය.

"අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා අවසන්"

අර්ජුන මහේන්ද්‍රන්ටත් වඩා ලොකු මහත්වරුන් කූඩුවට නැග්ගවීමට අවශ්‍ය ලිපි ගොනුත් මේ වනවිට සකස් කර අවසන් බව එහිදී ජනාධිපතිතුමා සඳහන් ක‍ළේය.

"අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්වරුන්ටත් කූඩුවට නගින්න අවශ්‍ය ලිපිගොනු හදලා ඉවරයි"

ඒ වගේම පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පල කළේ, මෙවැනි අදහසකි.

"පළාත් සභා ක්‍රමයටත්, පළාත් සභා ඡන්දයටත් ඇණ ගසා හමාරයි. එහි පළමු වගඋත්තරකරු අගමැති"

දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලන ඉතිහාසයක ගෞරවණීය හිමිකරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ත්, ගෙම්බන් පනිනවා මෙන්, එහෙට මෙහෙට පනින්නේ රට වෙනුවෙන් හිතන අය නොව තමන්ගේ පුද්ගලික අනාගතය ගැන පමණක් හිතන අය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පල කළේ මෙවැනි අදහසකි.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා කෝටි ගණනක් වියදම් කරලා. නමුත් වෙච්චි දෙයක් නැහැ"

19 වන සංශෝධනයේ තත්ත්වය අනුව මීළඟට ජනපති ලෙස බිහිවන පුද්ගලයාට කිසිවක් කළ නොහැකි බව ත් සියලු බලතල හිමිවන්නේ අගමැතිතුමාට බව ත් ජනාධිපතිවරයා කියා සිටියේය. ආණ්ඩුව සහ විපක්ෂය සුපුරුදු පරිදි ඡන්දය ගැනීමට පමණක් උතුරේ නායකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව ත් ඔවුන්ට නිසි වැඩපිළිවෙළක් ද නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. රටේ පුරවැසියන්ට තුවක්කු පත්තු නොවුණු එකම යුගය තමන්ගේ යුගය බව ත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. 2020 නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ ජනාධිපතිවරයා මෙලෙස සිය අදහස් පල කළේය.

"2020 ආණ්ඩුව හදන්නේ අපි"