ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20/20 ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20/20 ජය නවසීලන්තයට

by Staff writer 02-09-2019 | 6:58 AM
COLOMBO (News 1st) : තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - නවසිලන්ත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 5 කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. වසර 3 කට පසු පල්ලේකැල් ක්‍රීඩාංගණයේදී පන්දුවාර 20 යි 20 තරගයක් පැවැති පළමු අවස්ථාව මෙය වූ අතර තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි. ඒ අනුව පිවිසි කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 41කි. පිටියේ ස්ථාවරව සිටි කුසල් මෙන්ඩිස් සමග එක්වූ නිරෝශන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල සඳහා ලකුණු 63 ක සබඳතාවක් ගොඩනැගූහ. සිය පස්වන 20 යි 20 අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් පන්දු 53 කදී ලකුණු 79 ක් රැස් කළේ, හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 174 කි. අනතුරුව ලකුණු 175ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන මාර්ටින් ගප්ටිල් හා කොලින් මුන්රෝගේ සබඳතාව එක් ලකුණකට සීමා කරමින් මුන්රෝ ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් විය. රොස් ටේලර් හා කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 38ක් තුළ ගොඩනැගූ සබඳතාව ලකුණු 79කි. කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් ලකුණු 44 කට දවා ගැනීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් වූ අතර එම කඩුල්ලත් සමග ඔහු ඉතිහාසගත වූයේ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙසයි. ඔහු මේ වන විට කඩුලු 99 ක් බිඳ හෙලා ඇති අතර මීට පෙර අදාළ වාර්තාවට හිමිකම් කීවේ පාකිස්තානයේ සහීඩ් අෆ්රිඩි ය. රෝස් ටේලර් ලකුණු 48 ක් රැස් කළ අතර නවසීලන්ත කන්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ, පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී සිටියදීයි. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඩැරල් මිචෙල් ලකුණු 25 ක් සහා මිචෙල් සැන්ට්නර් ලකුණු 14 ක් රැස් කරගෙන සිටියේ ය. පන්දු යැවීමේදී ලසිත් මාලිංග සහා වනිදු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්තේ ය. දෙරට අතර පැවැත්වෙන දෙවන 20යි 20 තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීම හෙට පැවැත්වීමට නියමිතයි.