ජනාධිපතිවරණය නොවැම්බර් 10ත් දෙසැම්බර් 8ත් අතර?

ජනාධිපතිවරණය නොවැ. 10ත් දෙසැ. 8ත් අතර - මැතිවරණ කොමිසමෙන් පක්ෂ ලේකම්වරුන්ට ලිපියක්

by Staff writer 02-09-2019 | 7:22 PM

COLOMBO ( News 1st ) - නොවැම්බර් 10 සිට දෙසැම්බර් 8 අතර කාල සීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන්ට යැවූ ලිපියකින් අනාවරණය වේ.

අගෝස්තු 9 වනදා මැතිවරණ කොමිසම යැවූ මේ ලිපිය ඇතැම් පක්ෂ ලේකම්වරුන්ට ලැබී තිබුණේ අද පෙරවරුවේදීය. නොවැම්බර් 10 සිට දෙසැම්බර් 8 අතර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට උනන්දු වන්නේ නම්, ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම්දීමට හැකි නම් මැනවි යනුවෙන් එම ලිපියේ දැක්වේ. මීට අමතරව ජනාධිපතිවරණ කාලසීමාවේ නිරීක්ෂණ කටයුතු පිළිබඳව කරුණු ද මේ ලිපියේ සඳහන්ය. මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ දෙසැම්බර් 2 වනදා සිට 12 වනදා දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සූදානම් කර ඇති බව ය. දැනට පවතින තත්ත්වය අනුව නොවැම්බර් 9 සිට දෙසැම්බර් 2 අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝ ඉඩ තිබේ.