උතුරු කොරියාවේ ව්‍යවස්ථාව සංශෝධනයට අනුමැතිය

කිම් ජොන්ග් උන්ගේ බලතළ ඉහළ නංවමින් උතුරු කොරියානු ව්‍යවස්ථා සංශෝධනයක්

by Staff writer 30-08-2019 | 7:35 AM

News 1st - උතුරු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, නායක කිම් ජොන්ග් උන්ගේ බලතළ ඉහළ නංවමිනි. පැවති ව්‍යවස්ථාවට අනුව උතුරු කොරියාවේ නායකයා නාමික රාජ්‍ය පාලකයෙකු පමණක් විය. තීන්දු ගැනීමේ බලය පැවරී තිබුණේ ඉහළ පාලක මණ්ඩලයටයි. එහෙත් පසුගිය ජූලි මාසයේදී කළ ව්‍යවස්ථා සංශෝධනයෙන් කිම් ජොන්ග් උන්ග් නිල රාජ්‍ය නායකයා මෙන්ම හමුදාපතිවරයා ලෙස නම් කෙරුණි. මෙවර උතුරු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වී ඇත්තේ, රාජ්‍ය නායකයා ලෙස ඔහුට සියලු තීන්දු තීරණ ගැනීමේ විධායක බලය පවරමිනි. ඒ අනුව ව්‍යවස්ථාදායක අණ පනත්, ප්‍රධාන නියෝග සහ තීන්දු ගැනීමේ බලය ඔහුට හිමිවෙයි. ඊට අමතරව විදේශ රටවලට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පත් කිරීමට මෙන්ම නැවත ගෙන්වීමටත් ඔහුට බලය හිමිවනු ඇති. උතුරු කොරියානු ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකුට එවැනි බලතළ හිමි වූ පළමු අවස්ථාව ද මෙයයි. අමෙරිකාව සමග සාම ගිවිසුමක් ඇති කරගැනීමේ අරමුණින් උතුරු කොරියාව එලෙස ව්‍යවස්ථාව සංශෝධනය කර කිම් ජොන්ග් උන් යටතට සියලු බලතළ පවරන්නට ඇතැයි දේශපාලන විචාරකයින් පවසති.