ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන්නැයි නියෝග

by Staff writer 30-08-2019 | 4:45 PM
COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ ලේකම්වරයා ගොනු කළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. එම නියෝගය අද නිකුත් කළේ ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය පිළිගන්නා ලෙසට තේරීම් භාර නිලධාරියාට එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේ ය.