රවීට CID ය හමුවේ ප්‍රකාශ ලබා දෙන්නැයි නියෝග

රවී කරුණානායකට CID ය හමුවේ වැඩිදුර ප්‍රකාශ ලබා දෙන්නැයි නියෝග

by Staff writer 29-08-2019 | 5:30 PM

COLOMBO (News 1st) - අද දින සිට සති දෙකක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට වැඩිදුර ප්‍රකාශ ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාට නියෝග කර තිබේ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නියෝග කළේ, මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේදී බොරු සාක්ෂි ලබාදීමේ චෝදනාව යටතේ රවී කරුණානායක මහතාට එරෙහිව කරන විමර්ශන ඔහුගේ වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට නොහැකි වීම නිසා දිනෙන් දින ප්‍රමාද වෙමින් පවතින බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කළ කරුණු දැක්වීම සළකා බලමිනි. පසුගිය ජූලි 7 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබාදුන් බවත් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම් දුන්න ද මෙතෙක් නොපැමිණි බවත් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නා ය. රවී කරුණානායක මහතාගේ වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට නොහැකිවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට බාධාවක් වී ඇතැයි තම අධිකරණයට පෙනී යන බැවින් විමර්ශනවලට සහාය දීම සඳහා තම අධිකරණය එම නියෝගය නිකුත් කරන බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා ය.