ජම්මු කාශ්මීර අර්බුදය: ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි

ජම්මු කාශ්මීර අර්බුදය: ඉන්දියාව ගත් පියවර සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි

by Staff writer 29-08-2019 | 10:28 AM
(News 1st) - ජම්මු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් පියවර කලාපීය සාමයට මෙන්ම බහුවාර්ගිකත්වයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි. ඔහු මේ බව සඳහන් කළේ, ජෝර්දාන සහ ප්‍රංශ නායකයින්ට දුරකතන ඇමතුම් ලබා දෙමිනි. සාමකාමීව ජම්මු කාශ්මීරයේ සියලු අර්බුද විසඳීමේ වැදගත්කම, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එහිදී අවධාරණය කළ බව ඉම්රාන් ඛාන්ගේ කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය. ජෝර්දානයේ අබ්දුල්ලා රජු සඳහන් කළේ, කලාපයේ නොසන්සුන්තා අවසන් කර සාමය සහ සංහිඳියාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව ය. ජම්මු කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබා දුන් විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමෙන් පසු හටගත් අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් සෙසු රටවල් සමග සාකච්ජා කරන බව ද ජෝර්දාන රජු ප්‍රකාශ කර තිබේ. මේ අතර ඉන්දියාව යළි ප්‍රංශයෙන් රෆායෙල් ප්‍රහාරක ජෙට් යානා 36ක් මිලදී ගැනීමට සූදානම් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාව ප්‍රංශයෙන් මිලදී ගැනීමට නියමිත යුධෝපකරණ අතර හෙලිකොප්ටර් යානා සහ සබ්මැරීන් ද අයත් බව ය. මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ උපදේශක එම්මානුවෙල් බොන් අද නවදිල්ලියේදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හමුවීමට ද නියමිත වේ. මෙම ගනුදෙනුව සිදු වන්නේ ජී 7 සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රංශ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී පැමිණි එකඟතාවකට අනුව ය. මෙම ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ලබන මාසයේදී ප්‍රංශයේ සංචාරය කිරීමට ද නියමිත ය. රෆායෙල් ප්‍රහාරක ජෙට් යානා ගෙන්වීමට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ට ඊට අදාළ පුහුණුව ප්‍රංශයේදී ලබා දීමට සැලසුම් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.