ඇලෝසියස් ඇතුළු සිව්දෙනාගේ ඇප කොන්දේසි ලිහිල් කෙරේ

අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් සිව්දෙනාගේ ඇප කොන්දේසි ලිහිල් කෙරේ

by Staff writer 29-08-2019 | 4:38 PM

COLOMBO (News 1st) - අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට සතියේ සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා පනවා තිබූ ඇප කොන්දේසිය ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කර තිබේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළේ, සෑම මසකම අවසන් ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි. මහේස්ත්‍රාත්වරිය එලෙස ඇප කොන්දේසි ලිහිල් කළේ සැකකරුවෙන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සළකා බලමිනි. ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය සිදු වූ සමයේ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකතන සංවාද පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි මහ බැංකු බැඳුම්කර වංචා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට නියෝග කර තිබුණි. එකී නියෝගය අනුව ඉදිරිපත් කර තිබූ සීඩීපටවල ඇතැම් දුරකතන සංවාද විකෘති කර සහ මකා දමා ඇති බව අනාවරණය කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, තිළිණ සල්ගාදු හා සජිත් මධුසංඛ යන සැකකරුවන් සිව්දෙනාට එරෙහිව කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ ය. එම සැකකරුවන් ඉදිරිපත් කළ සීඩීපට සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමක් යැවීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා ය. නඩුව දෙසැම්බර් 19 වැනි දා දක්වා කල් තැබුණි.