විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු තුනක්

රතුපස්වල, එක්නැලිගොඩ හා ඇවන්ගාඩ් නඩු විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු තුනක්

by Staff writer 28-08-2019 | 6:56 PM

COLOMBO (News 1st) - අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුනක් පත්කර තිබේ.

ඒ, රතුපස්වල වෙඩි තැබීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ඇවන්ගාඩ් සිද්ධියට අදාළ නඩු විභාග කිරීම සඳහායි. නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු පත් කර ඇත. ඒ අනුව රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කර ඇත්තේ මේනකා විජේසුන්දර විනිසුරුවරියගේ ප්‍රධානත්වයෙනි. එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වන්නේ, බිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි යන මහත්වරුන් ය. ඇවන්ගාඩ් සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා ධම්මික ගනේපොල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. කොළඹ මහාධිකරණය හමුවේ විභාග කෙරෙන එම නඩුවේ සෙසු විනිසුරුවරුන් වන්නේ ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන් ය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇත්තේ සම්පත් අබේකෝන් මහතාගේ සභාපතිත්වයෙනි. එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වන්නේ, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් ය.