මඩකලපුවේ විරෝධතාව විසුරුවා හැරීමේදී හතරකට තුවාලයි

මඩකලපුව කල්ලියාන්කාඩු ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ

by Staff writer 28-08-2019 | 8:58 AM

COLOMBO (News 1st): මඩකලපුව, කල්ලියන්කාඩු ප්‍රදේශයේ පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ක්‍රියාකළ අවස්ථාවේ සිදුවූ ඇද වැටීම් හේතුවෙන් විරෝධතාකරුවන් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස තුවාල ලබා ඇති බව ය. තුවාලකරුවන් මේ වනවිට මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද, පොලීසිය සඳහන් කළේය. මේ අතර, මඩකලපුව කල්ලියන්කාඩු ප්‍රදේශය අශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍යතාව අනුව අතිරේක නිලධාරීන් අනියුක්ත කිරිමට සැලසුම් කර ඇති බව ය. මඩකලපුව, කල්ලියන්කාඩු ප්‍රදේශයේ පැවති එම විරෝධතාව විසුරුවා හැරීමට ඊයේ රාත්‍රී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. ප්‍රදේශවාසීන් පිරිසක් මෙම විරෝධාව පැවැත්වූයේ, අප්‍රේල් 21 වැනිදා මඩකලපුවේ බෝම්බ ප්‍රහාරය සිදුකළ පුද්ගලයාගේ හිස මිහිදන් කිරීම සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමිනි. මඩකලපුව සියෝන් දේවස්ථානයේ දී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකරුගේ හිස මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ පෙරේදා භූමදාන කෙරිණි. ඒ, අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුවයි. ප්‍රදේශවාසීන් පවසන්නේ තමන්ගේ ප්‍රදේශයේ සුසාන භූමියේ සැකකරුගේ හිස භූමදාන කිරීම අනුමත නොකරන බව ය. ඊට විරෝධය පල කරමින් පැමිණි පාගමනකින් අනතුරුව පිරිස විරෝධතාවයේ නිරත විය. වෙනත් ප්‍රදේශයක මෙම මෘත ශරීර කොටස භූමදාන කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.