by Staff writer 28-08-2019 | 4:35 PM
COLOMBO (News 1st) - බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
ඒ, බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයින් ඇතුළු නිලධාරීන් පිරිසක් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
ඉතා කඩිනමින් පරීක්ෂණ ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපතිතුමා මෙම හමුවේදී කියා සිටියේ, පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බවයි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අන්තර්කාලීන වාර්තා 4 ක් ලැබී ඇති අතර දෙසැම්බර් වන විට ඉතිරි වාර්තා ද ඉදිරිපත් කළ හැකි බව ද මෙහිදී අනාවරණ විය.
පරීක්ෂණ නිලධාරීන් ජනාධිපතිතුමාට පෙන්වා දී ඇත්තේ, මුදල් විශුද්ධිකරණය සම්බන්ධව බැංකුවලින් ඉල්ලා සිටියත්, තවමත් එම වාර්තා ලැබී නොමැති බැවින් පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාමේදී අපහසුතාවක් මතුව තිබෙන බවයි.
බැඳුම්කර වංචාවට සම්බන්ධ චුදිතයින්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් ලෙස චෝදනා ඉදිරිපත් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ, අදාළ සාක්ෂි දිවුරුම් ප්‍රකාශ මගින් දෙසැම්බර් මාසයට පෙර ඉදිරිපත් කරන බවයි.
පරීක්ෂණ කඩිනම් කිරීම වෙනුවෙන් තමන්ගෙන් ලැබිය යුතු සෑම සහායක්ම ලබාදෙන බවට ජනාධිපතිතුමා මෙහිදී සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
අද පැවති සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච් එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් සහ වැඩබලන පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.