පකිස්ථාන අගමැතිගේ නවතම සැලැස්ම...

ඉන්දියාවට සිය ගුවන් අවකාශය වසා දැමීමට පකිස්ථාන අගමැති සැරසෙයි

by Staff writer 28-08-2019 | 4:39 PM

News 1st - ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සූදානම් වේ.

එරට විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ෆාවඩ් හුසේන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉන්දියාව වෙළෙඳ කටයුතු සඳහා භාවිත කරන පකිස්ථානය හරහා ඇෆ්ඝනිස්ථානය දක්වා දිවෙන වෙළෙඳ ගමන් මාර්ග සියල්ල ඉන්දියාවට තහනම් කිරීම සම්බන්ධයෙන් ද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සලකා බලමින් සිටින බවයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇරඹු දෙය අප අවසන් කරන බව ද අමාත්‍ය ෆාවඩ් හුසේන් සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් කියා සිටියේ ය. ජම්මු කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගැනීමෙන් පසු දෙරට අතර උත්සන්න වූ නොසන්සුන් තත්ත්වය හමුවේ පකිස්ථානය මෙම පියවර ගැනීමට සැරසෙන බව සඳහන් ය. මේ සම්බන්ධයෙන් ඉන්දියාවට එරෙහිව පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් පකිස්ථානය ඉල්ලා සිටි නමුත් එය ඉන්දියාව සහ පකිස්ථානයේ ද්වීපාර්ශවික කටයුත්තක් බව පවසමින් මේ සම්බන්ධයෙන් මැදිහත්වීම ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රතික්ෂේප කළහ. ජම්මු කාශ්මීරයට ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුක්ති අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවට ද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මීට පෙර පැවසුවේ ය. පකිස්ථානය මීට පෙර ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය වසා දැමුවේ ඉකුත් පෙබරවාරි මාසයේදී පකිස්ථානයේ පිහිටි ත්‍රස්ත කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඉන්දියාව පියවර ගැනීමෙන් පසුවයි. කෙසේ වෙතත් ඉකුත් ජුලි මාසයේදී පකිස්ථානය ඉන්දියාවට පනවා තිබූ මෙම තහනම ඉවත් කළේ ය.