පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා අද

පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීමේ සාකච්ඡා අද

by Staff writer 27-08-2019 | 6:43 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අද යළි ආරම්භ වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. දෙපාර්ශවය අතර සාකච්ඡා අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිත ය. අදාළ සාකච්ඡා සඳහා පත් කළ කණ්ඩායම්වලට නව සාමාජිකයින් ද පත් කෙරිණි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායමට තමන් ද පත් කර ඇති බව ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් ය. පොදුජන පෙරමුණේ සාකච්ඡා කණ්ඩායමේ නායකත්වයට එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පත් කර තිබේ. එහි සෙසු සාමාජිකයින් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් ය. ලබන මස 3 වන දාට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා අවසන් කිරීමට නියමිත බව මහින්ද අමරවීර මහතා පැවසුවේ ය. දෙපාර්ශවය අතර සන්ධානගත වීමේ සාකච්ඡා සඳහා මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල හා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු සහභාගී වූහ. පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් හා ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් ය.