පලාලි සිට ඉන්දියාව බලා ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

පලාලි ගුවන්තොටුපොළේ සිට ඉන්දියාව බලා ගුවන් ගමන් ආරම්භ කිරීමේ සූදානමක්

by Staff writer 27-08-2019 | 6:59 AM
COLOMBO (News 1st) - පලාලි ගුවන්තොටුපොළේ සිට ඉන්දියාව බලා ගුවන් ගමන් සඳහා ඉන්දියානු පෞද්ගලික ගුවන් සමාගමක් සිය කැමැත්ත පළ කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, අදාළ ගුවන් ගමන් කටයුතු ඔක්තෝබර් 15 වන දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ය. මගී ගුවන් සේවා පවත්වාගෙන යාම සඳහා ගුවන්තොටුපොළ ආශ්‍රිතව රේගු, ආගමන විගමන සහ රාජ්‍ය බුද්ධි සේවා කාර්යාල ස්ථාපිත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා කරමින් ඇතැයි එම අධිකාරිය ප්‍රකාශ කළේ ය. එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා සඳහන් කළේ, මගීන් 80 දෙනෙකු පමණ රැගෙන යා හැකි යානා සඳහා පළමු අදියර යටතේ ගුවන්තොටුපොළ සකස් වන බව ය. ඒ අනුව පලාලි සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා ගුවන් ගමන විනාඩි 50ක් පමණ වනු ඇතැයි ද ඔහු පවසයි. පලාලි ගුවන්තොටුපොළේ පළමු අදියරේ කටයුතු සඳහා අයෝජිත මුදල රුපියල් මිලියන 1950කි. මේ අතර මඩකලපුව ගුවන්තොටුපොළේ කටයුතු ද මේ වන විට අවසන් අදියරට ළඟා වී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, එම ගුවන්තොටුපොළේ රේගු, ආගමන විගමන සහ රාජ්‍ය බුද්ධි සේවා කාර්යාල කඩිනමින් ස්ථාපිත කෙරෙනු ඇති බව ය. එම කටයුතුවලින් පසු ගුවන්තොටුපොළ මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා ප්‍රකාශ කළේ ය.