ජනපති මෛත්‍රීට ඉන්ටපෝල් ඇගයීම් තිළිණයක්

ජනපති මෛත්‍රීට ඉන්ටපෝල් ඇගයීම් තිළිණයක්

by Staff writer 27-08-2019 | 5:21 PM
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉන්ටපෝල් මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ඇගයීම් තිළිණයක් පිරිනමා තිබේ. ඒ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම හා එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර හේතුවෙනි. දිවයිනට පැමිණ සිටින ඉන්ටපෝල් මහලේකම්වරයා අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවුණේ, ජනාධිපති කාර්යාලයේදීයි. ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ නිලධාරීන් ඉතා ඉහළ වෘත්තිමය භාවයකින් ක්‍රියාකරන බව මෙහිදී ජර්ගන් ස්ටොක් මහතා පවසා තිබේ. මත්ද්‍රව්‍ය සොයා ගැනීම් සඳහා නව තාක්ෂණික උපකරණ ලබා ගැනීම, නිතිය බලගන්වන නිලධාරීන්ට අවශ්‍ය විශේෂ දැනුම ලබා දීම සඳහා ඉදිරියේදී ගිවිසුමකට එළැඹීම පිළිබඳව ද එම හමුවේදී අවධානය යොමු වු බව, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. මේ අතර, රුසියාවේ නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, රුසියානු ජාතික, ආචාර්ය එඕගිනි උෂාශෙව් මහතා එම උපකරණය නිර්මාණය කර ඇති බවයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 50,000කි.