අරුවක්කාලු දක්වා දැඩි ආරක්ෂාවක්

අරුවක්කාලු දක්වා කසළ ප්‍රවාහනය කරන මාර්ගවල දැඩි ආරක්ෂිත ක්‍රමවේදයක්

by Staff writer 27-08-2019 | 7:14 AM
COLOMBO (News 1st) - කොළඹ කසළ පුත්තලම අරුවක්කාලු දක්වා ප්‍රවාහනය කරන මාර්ගවල ආරක්ෂාව සඳහා 100කට අධික පොලිස් සහ යුද හමුදා සාමාජිකයින් යොදවා ඇති බව පොලීසිය පවසයි. පොලීසිය ප්‍රකාශ කළේ, මීට අමතරව ජංගම මුර සංචාර සහ යතුරුපැදි සංචාර ද යොදවා ඇති බව ය. කසළ ප්‍රවාහන ලොරි රථවලට අවස්ථා කිහිපයකදී ප්‍රහාර එල්ල වීම හේතුවෙන් දැඩි ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කරන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලොරි රථවලට පහර දෙන පුද්ගලයින්ට පොදු දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ය. අදාළ ලොරි රථවලට අවශ්‍ය ආරක්ෂාව සපයන්නැයි ආරක්ෂක අමාත්‍යංශ්‍ය දැනුවත් කර ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේ ය. මේ අතර පුත්තලම අරුවක්කාලු අංගනයට කසළ රැගෙන ගිය ලොරි රථවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට පත් වූ අතර, ඉන් 4 දෙනෙකු ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරිණි. අත්අඩංගුවට පත් වූ තවත් සැකකරුවෙකු ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය පසුගියදා නියෝග කළේ ය. මෙම ප්‍රහාරවලින් මේ වන විට කසළ ලොරි 10කට සහ ආරක්ෂාව සැපයූ පොලිස් ජීප් රථයකට ද හානි වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.