හංවැල්ලේ පස් ව්‍යාපාරිකයෙකුට වෙඩි

හංවැල්ලේ වෙඩි තැබීමක්: පස් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ රියැදුරු මරුට

by Staff writer 26-08-2019 | 10:19 PM

COLOMBO (News 1st) - හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ රියැදුරු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රී 9.30 ත් 10.00 ත් අතර හිස්වැසුම් පැළඳ, මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැත. අප වාර්තාකරු පැවසුවේ, එම අවස්ථාවේ යම් කිසි අයෙකුට විඩියෝ දුරකතන අමැතුමක් ලබාගත් නාඳුනන පුද්ගලයින් දෙදෙනා නිවැසියන් එකිනෙකාව වෙන් වෙන්ව ඔහුට පෙන්වමින් ඝාතනය කළ යුතු පුද්ගලයා කවුද යන්න විමසා ඇති බවයි. එම අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි නිසා පස් ව්‍යාපාරිකයාගේ මංගල ඡායා රූපය වීඩියෝ දුරකතන ඇමතුමෙන් පෙන්වා ඇති අතර ඝාතනය කළ යුතු පුද්ගලයා තහවුරු කර ගැනීමෙන් පසු බිරිඳට සැමියා නිවසට ගෙන්වන ලෙස අදාළ පුද්ගලයින් තර්ජනය කර තිබේ. ඒ අනුව බිරිඳ ලවා ව්‍යාපාරිකයාට ඔහුගේ දරුවෙකු අසනීප බව දැනුම් දුන් පසු යතුරු පැදියකින් අදාළ පුද්ගලයා හා ඔහුගේ රියැදුරු නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ වෙඩි තැබීම සිදු කර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ විජිත් ප්‍රේමලාල් නොහොත් සුමේධ නැමැති 43 හැවිරිදි පස් ව්‍යාපාරිකයා සහ එම්.ජී. රවිඳු නැමැති 32 හැවිරිදි රියැදුරා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.