තව්හීත් ජමාත් ක්‍රියාකාරි සාමාජිකයක් අත්අඩංගුවට

තව්හීත් ජමාත් ක්‍රියාකාරි සාමාජිකයක් මාවනැල්ලේදී අත්අඩංගුවට

by Staff writer 25-08-2019 | 6:35 PM
COLOMBO (News 1st) : තහනම් කරන ලද තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද අලුයම මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බවයි. ඔහුගෙන් දින තුනක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව, පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරු මාවනැල්ල බුදු පිළිම කඩා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ ඥාතියෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඔහු අන්තවාදී ඉගැන්වීම් සිදුකර ඇතැයි මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වූ බව, කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් ක‍ළේ ය. පොලීසිය ප්‍රකාශ කළේ, මාවනැල්ලේ සිදුවු අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් රැසක් මොහු විසින් සිරියාව, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවලට යවා ඇති බවයි.‍ අත්අඩංගුවට ගත් සැකකරු 58 හැවිරිදි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.