සැකයක් තියා ගන්න එපා මම ස්ථීරවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - සජිත් ප්‍රේමදාස

by Staff writer 23-08-2019 | 7:14 PM
COLOMBO (News 1st):

"කිසිඳු කෙනෙක් කිසිම සැකයක් හිතේ තියා ගන්න එපා. මෙවර ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා. ස්ථිරයි"

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස සිය අදහස් පල කළේ, අද මාතරදී පැවති ජයග්‍රාහී ජන රැළිය අමතමිනි. සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ මෙම රැළියට විශාල ජනකායක් එක්ව සිටියහ. දේශපාලන ගජමිතුරුකම් වලට තමා ඉඩ නොතබව බව ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළේ ය.

"මම මන්දිර ජීවිත සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා"

ජනතාව වෙනුවෙන් මන්දිර තුළ නොසිට ජනතාව තුළටම ගොස් සේවය කරන බවට මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිඥා දුන්නේ ය.

"දිවා රෑ නොබලා අපි අපේ ජනතාව ශක්තිමත් කරලා ජයග්‍රාහී මාතෘ භූමියක් නිර්මාණය කරනවා"

ප්‍රේමදාස මහතා මෙම රැළියේදී අවධාරණය කළේ, රටේ සහ ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් තමා දිවා රෑ නොබලා සේවය කරමින් රට ජයග්‍රාහී ගමනක් කරා ගෙන යාමට කටයුතු කරන බව ය.

"දූෂණය තුරන් කිරීමේ ආදර්ශය එන්න ඕන රටේ ඉහළම තැනින්"

රටේ පවතින දූෂණය පිළිබඳව අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, දූෂණය තුරන් කිරීමේ ආදර්ශය පැමිණිය යුත්තේ පොඩි තැනින් නොව රටේ ඉහළම තැනින් බව ය. එමෙන් ම තමා රටේ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු වීරෝදාර රණවිරුවන් ලවා මහා මාර්ග පිරිසිදු කිරීමට කටයුතු නොකරන බවත් ඔවුන්ට නිසි ගෞරවය ලබා දෙමින් ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා කැපවන බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ ය.