ශානිට සිතාසි නිකුත් කරන්නැයි, කළ ඉල්ලීම ඉවතට

ශානි අබේසේකරට සිතාසි නිකුත් කරන්නැයි, කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

by Staff writer 23-08-2019 | 1:42 PM
COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට අධිකරණයේ පෙනි සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස හා ඔහුට විදෙස්ගත වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට නීතිඥ ජාලිය සමරසිංහ මහතා කර තිබූ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද ප්‍රතික්ෂේප කළා ය. පීඩාකාරි ආයුධ සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකළ බව පවසමින් නීතිඥ ජාලිය සමරසිංහ මහතා ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් මෙම ඉල්ලීම සිදු කළේ ය. ඔහු සඳහන් කළේ, 2015 මාර්තු 03 වන දා සහ 2015 ජුනි 18 වන දා කර තිබු නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් , ශානි අබේසේකර මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 216 වගන්තිය යටතේ ගැණෙන වරදක් සිදුකර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් නියෝගය අද නිකුත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ , මහේස්ත්‍රාත් අධිකරණය විසින් කර තිබූ පෙර නියෝගය අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් නීතිපති උපදෙස් කැඳවා ඇති බවත් එම සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී නොමැති බව පෙනී යන බවයි. ඒ අනුව පැමිණිල්ලේ පෙන්වා දෙන පරිදි ශානි අපේසේකර මහතා වරදක් කර ඇති බවට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නිගමනය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ය.