ශ්‍රී ලංකාවේ කඩුලු 6ක් බිඳ වැටෙද්දී වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාවේ කඩුලු 6ක් බිඳ වැටෙද්දී වර්ෂාවෙන් බාධා

by Staff writer 23-08-2019 | 4:39 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවෙනි තරගය දෙවැනි දිනටත් අද පැවැත්විණි. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අද දිනයේදී යොමු කිරීමට හැකි වූයේ පන්දුවාර 29 යි පන්දු 3ක් පමණි. තරගය කොළඹ පී සාරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 85ක් රැස් කර ගෙන සිටියේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් අද දෙවැනි දිනය වෙනුවෙන් පිටියට පිවිසියහ. ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 8ක් එක්වන විට ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ ලකුණු 2ක් රැස් කර ගෙන සිටියදී ය. එම කඩුල්ලත් සමගින් ට්‍රේන්ට් බෝල්ට් සිය ටෙස්ට් දිවියේ කඩුලු 250 සීමාවට ළඟා වීමට සමත් විය. ඔහු වාර්තා අතරට එක්වී සිටින්නේ, නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර තුන්වැන්නා සහ මේ වන විට ජාත්‍යන්තර තරග බිමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස ය. අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරාට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට ට්‍රේන්ට් බෝල්ඩ් අවස්ථාව ලබා නොදුන්නේ ය. සිය ටෙස්ට් දිවියේ 23 වන අර්ධ ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න ලකුණු 65ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ලට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට අවස්ථාව හිමි නොවිණි. වර්ෂාව හේතුවෙන් තරගය අද දිනය සඳහා නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 66ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 144 ක් රැස් කර ගෙන සිටියේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ධනංජය ද සිල්වා ලකුණු 32ක් රැස් කර ගෙන සිටි අතර පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ට්‍රේන්ට් බෝල්ට් සහා ටිම් සවුති කඩුලු 2 බැගින් දවා ගත්හ.