හයිද්‍රාබාද් යානයේ විනෝද චාරිකාව...

හයිද්‍රාබාද් යානයේ විනෝද චාරිකාව ගැන ශ්‍රීලංකන් පැහැදිලි කිරීම

by Staff writer 21-08-2019 | 8:36 PM

COLOMBO (News 1st) - හයිද්‍රාබාද් සහ කෙළඹ අතර පියසර කරමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක විනෝදාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක වූ අයුරු අපි ඊයේ අනාවණය කළෙමු.

එම අනාවරණයෙන් අප පෙන්වා දුන්නේ, කැසිනෝ ව්‍යාපාරයකට සම්බන්ධ කණ්ඩායමක් යානය මේ ක්‍රියාව සඳහා යොදාගෙන තිබූ බවයි. අද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා ඒ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් වෙත ප්‍රතිචාර දක්වා තිබේ. කෝප් කමිටුව තම සමාගම පිළිබඳව කරුණු විමසන පුවතින් පසුව මේ තොරතුරු වාර්තා කිරීම ශ්‍රීලංකන් ගුවන් සමාගම අපකීර්තියට පත් කිරීමක් ලෙස විපුල ගුණතිලක මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා නිව්ස්ෆස්ට් වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ මෙම විශේෂ චාරිකාවේ යෙදුණු කණ්ඩායම ඔවුන් සඳහාම වූ සේවාවක් ලබා ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් අතිරේක ගාස්තුවක් ද ගෙවා ඇතැයි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, එම කරුණු මත පදනම්වී සංවිධායකවරුන්ගේ ‍වෙළෙඳ නාමය හා බලාපොරොත්තු වූ සේවාවට ලබාදුන් බවයි. නමුත් කිසිදු අවස්ථාවක යානයේ ගමන් කළ පිරිසගේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවත් නිසි ප්‍රමිතීන්ට අනුකූලව යානය පියසර කල බවත් ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ ය. ඔහු සඳහන් කර තිබුනේ, යානය තුළ සිදු වූ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රීලංකන් සමාගම සම්බන්ධ නොවූ බවයි. මෙම කාර්යය සංවිධානය කළ පාර්ශ්වය සිදු කළ ප්‍රචාරණ කටයුතුවලදී ශ්‍රීලංකන් නාමය හා ඊට අදාළ දේවල් යොදා ගත්ත ද ඒ සඳහා සමාගමේ අනුමැතියක් ලබා ගෙන නොතිබූ බවත් සමාගම ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවන බවත් ප්‍රධාන විධායක නිලධාරීයා වැඩිදුරටත් අවධාරණය කළේ ය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අප වෙත යොමු කර ඇති ලිපියට අපි අද දිනයේම ප්‍රතිචාර දැක්වුවෙමු. හිතවත් විපුල මහතාණෙනි, අපගේ අනාවරණයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට අපකීර්තියක් සිදු වූ බව ඔබ සිතන බැවින් හා ඔබගේ අදහස අපගේ ප්‍රේක්ෂකයින් සේම මහජනතාව දැනගත යුතු බැවින් ඔබගේ ලිපිය ප්‍රසිද්ධ කළෙමු. මේ වන විට වසර 89 ක ඉතිහාසයකට හිමිකම් කියන අප සමාගම හා ඔබ ගුවන් සේවය අතර සමීප සබඳතාවක් ඇති බවට ඔබ කරන ප්‍රකාශය සත්‍යයකි. එම සබඳතාව, එයාර් සිලෝන් ලෙස අපගේ ජාතික ගුවන් සේවාව ආරම්භ වූ දා සිට පැවතෙන්නකි. හයිද්‍රාබාද් සිට කොළඹ දක්වා පියාසර කෙරුණු ප්‍රශ්නගත ගුවන් ගමනේදී දියත් කෙරුණු වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් ඔබ හා ශ්‍රීලංකන් කළමනාකාරිත්වය නොදැනුවත්ව සිටීම නිදහසට කාරණාවක් නොවේ. එහිදී සිදු වූ දෑ ශ්‍රීලංකන් ගුවන් සේවාවට මෙන්ම රටට ද යෝග්‍ය නොවන බව පැහැදිලියි. ශ්‍රීලංකන් ගුවන් සේවාව යනු අපගේ ජාතික සේවාවක් ලෙස ජාතියේ නම පවත්වාගෙන යන්නක් බව ඔබ සිහි තබාගත යුතුය. ශ්‍රීලංකන් ගුවන් සේවය කෝප් කමිටුව හමුවේ ඵලදායී කරුණු දැක්වීමක් කළ බව ඔබ ලිපියේ සඳහන්ව තිබේ. කෝප් කමිටු සාකච්ඡාව ඔබ විසින් වැරදි ලෙස අවබෝධ කරගෙන ඇති බවක් හෝ ඒ පිළිබඳව ඔබට අසත්‍ය අර්ථකථනයක් දී ඇති බව පෙනී යයි. ගුවන් සේවය ගොඩනැගීම සඳහා ඔබ තුළ වූ සැලැස්ම නව්‍ය එකක් බව අපි පිළිගනිමු. නමුත් අනෙක් අතට රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්වය යටතේ ගුවන් සේවාව පවත්වාගෙන යාම සඳහා ඇති අවකාශ සොයා බැලීමට පත් කර ඇති කණ්ඩායම වෑයම් කරන්නේ කිසිදු මූල්‍ය ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ජාතික ගුවන් සේවාව විකුණා දැමීමටය. කෝප් කමිටු සභාපතිවරයා සිය බලවත් අප්‍රසාදය පළ කරමින් එම අදහස නිශේධනය කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවයේ තත්ත්වය පහළ දමමින් හෝ මුදල් ඉපයීමට කළමනාකාරීත්වය විසින් අනුගමනය කරන්නා වූ ඕනෑම දෙයක් නිවැරදි බව අප විසින් පිළිගත යුතු යැයි ඔබ සිතන්නේ නම් එය වරදකි. අප ප්‍රචාරය කළේ, ප්‍රශ්නගත ගුවන් යානයේ සිටි මගීන් හා කාර්ය මණ්ඩලයේ තොරතුරු අනුසාරයෙන් සම්පාදනය කළ ප්‍රවෘත්තියකි. ඔවුන් විඳි පීඩාව ඔවුන්ගේ මුහුණවලින්ම තහවුරු වන්නකි. සිදු වූ දේ හමුවේ ඔවුන් තැතිගත් බවක් දක්නට ලැබුණි. මෙම අවාසනාවන්ත අශෝභන සිද්ධිය හා බැඳුණු තව ත් දර්ශන අප සතුව ඇත. ඊට අනුග්‍රාහකත්වය දැක් වූ පිළිබඳව ද තොරතුරු ඇත. එහෙත්, ඒවා ප්‍රචාරය කිරීමෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට උත්සාහ කරන අපේක්ෂකයෙකුට අගතියක් විය හැකි ඇති බැවින් අප ඒවා ප්‍රචාරය කරන්නේ නැත. කෙසේ වෙතත් ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඔබගේ ලිපියේ පිටපත් යවා ඇති සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමු. විපුල මහතාණෙනි, ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ඔබ පැහැදිලි තීරණයක්ගත යුතුයි. ඔබ ඔබේ ප්‍රමුඛත්වය දිය යුත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රවර්ධනය කිරීමට ද ? නැතිනම් පෞද්ගලික කැසිනෝවක් ප්‍රවර්ධනය කිරීමට ද ? අප දන්නා පරිදි නම්, අග්‍රාමාත්‍යවරයා ලාභය උදෙසා ජාතකි ගුවන් සේවාව මෙවැනි අශෝභන දෑ සඳහා භාවිත කිරීමට ඉඩ දෙන්නේ නැත. අප ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය වෙනුවෙන් අපි පෙනී සිටිමු. ප්‍රශ්නගත සිදුවීම ජාතික ගුවන් සේවාවකට අතිමහත් කැළලකි.