ජෙනරල් මහේෂ් සේනානායක ගැන News 1st තබන සටහනක්...

යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගිය ජෙනරල් මහේෂ් සේනානායක පිළිබඳව News 1st තබන ගෞරවණීය සටහනක්

by Staff writer 21-08-2019 | 7:15 PM

COLOMBO (News 1st) - යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගිය ජෙනරල් මහේෂ් සේනානායක මහතා පිළිබඳව නිව්ස්ෆස්ට් තබන ගෞරවණීය සටහනක් මේ...

කොළඹ ආනන්ද විද්‍යාලයේ ද්විතියක අධ්‍යාපනය හමාර කර 1981 වසරේ ඔක්තෝබර් 16 වන දා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ ඔහු 1983 දී පුහුණුව අවසන් කළේ, අතිශූර කෙඩෙට් නිලධාරියාට පිරිනමන සම්මාන අසිපත ද දිනා ගනිමිනි. දෙවන ලුතිනන් වරයෙකු ලෙස යුද හමුදා ඉංජිනේරු බලකායට එක් වූ මහේෂ් සේනානායක මහතා 1989 වසරේ ඇරඹි යුද හමුදා විශේෂ බලකායට ආරම්භක සාමාජිකයෙකු ලෙස එක්වන්නේ ස්වේච්ඡාවෙනි. උතුරු - නැගෙනහිර ප්‍රදේවල සියලුම ක්‍රියාන්විතයන්ට සක්‍රීයව දායක වූ මහේෂ් සේනානායක මහතා දිගුදුර විමර්ශන මෙහෙයුම් සංකල්පය හඳුන්වාදීමේ පුරෝගාමියායි. දියතලාව යුද හමුදා පුහුණු පාසැලේ උපදේශක, විශේෂ බලකායේ පළමුවන රෙජිමේන්තුවේ සේනාවිධායක, එම බලකායේ තුන්වන රෙජිමේන්තුවේ අනදෙන නිලධාරී 211 වන සේනාංකයේ සේනාංකාධිපති, 52 වන බලසේනාධිපති, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මෙහෙයුම් කාර්ය මණ්ඩල ප්‍රධානී ඔහු දැරූ තනතුරු කිහිපයකි. බ්‍රිගේඩියර් නිලයට උසස්වීමෙන් පසුව මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක අවසන් කාල සීමාවේ යුද හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂ ධුරයේ වගකීම් ඉටුකලේ මහේෂ් සේනානායක මහතායි. 2015 පෙබරවාරි මාසයේ යුද හමුදා මූලස්ථානයේ යුද ලේකම් තනතුරට පත් කළ ඔහු අනතුරුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙසත් පසුව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙසත් පත් විය. 2017 වසරේ ජුලි 4 වන දා මහේෂ් සේනානායක යුද හමුදාපති ධුරයට පත්වූයේ එම තනතුරට පත් විසි දෙවැන්නා ලෙසයි. අමෙරිකාවේ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරක්ෂක උපාධිය මෙන්ම ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක් ද හිමිකර ගත් ජෙනරල් මහේෂ් සේනානායක මහතා රණ වික්‍රම, රණශූර , විශිෂ්ට සේවා විභූෂණය, උත්තම සේවා ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලැබූ නිලධාරියෙකි. තිස් වසරක යුද්ධය අවසානවීමෙන් පසුව ජාත්‍යන්තරයෙන් නැගුන බලපෑම්වලට මුහණදීමේදී යුද හමුදාවට නායකත්වය දුන් ඔහු උතුරු, නැගෙනහිර සිවිල් ජන ජීවිතය නගා සිටුවීම සඳහා සිය දායකත්වය උපරිමයෙන් සැපයූ අයෙකි. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාවට නිසි මගපෙන්වීම ලබාදෙමින් නායකත්වය දුන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා ජාතීන් අතර සමගිය සහ සහජීවනය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවිය. නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ යුද හමුදාව ශක්තිමත් කිරීමට වැඩසටහන් රැසක් හඳුන්වා දුන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා ඊයේ යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගත්තේ දශක 4 කට ආසන්න කාලයක් මව් බිම වෙනුවෙන් සිය වගකීම් හා යුතුකම් ඉටු කළ අභීත නිලධාරියෙකු ලෙසයි. ඔහු සිය සේවා කාලය තුළ ඉටුකළ මෙහෙය රටේ ජනතා හදවත් තුළ සදා රැඳී තිබෙනු නොඅනුමානයි...