එ.ජා.ප. මන්ත්‍රීවරුන් 55 දෙනාගේ ලිපියට අත්සන් නොකළ අයගේ පැටිකිරිය

by Staff writer 21-08-2019 | 11:29 AM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය දින 7ක් තුළ කැඳවා ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණයක් ගන්නැයි මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් කළ ඉල්ලීම පිළිබඳව පක්ෂයේ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ ප්‍රතිචාර දැක්වීය.
ප්‍රශ්නය - "මන්ත්‍රීවරු තුනෙන් දෙකක් අත්සන් කරලා දීපු ලිපිය නායකතුමා භාර ගනියි ද?" පිළිතුරු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් - මහ ලේකම් එක්සත් ජාතික පක්ෂය "භාර අරගෙන තියෙන්නේ. අගමැතිතුමා හොඳට දන්නවා මේ පක්ෂයේ ව්‍යවස්ථාව. ඒ අනුව එහෙම ගැටලුවක් නෑ. ඔබතුමාලා එය පෙන්නන්න හදන්නේ වෙන අර්ථයක් වුණාට එහෙම ප්‍රශ්නයක් නෑ. අපිටත් අත්සන් කරන්න තිබ්බා ඕන නම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. මැජික් පෙන්නන්නේ නෑ අපේ නායකයා."
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් අත්සන් කළ මෙම ලිපියට අකිල විරාජ් කාරියවසම් මහතා අත්සන් කර නොතිබිණි. ඔහුට අමතරව ලක්ෂ්මන් කිරිඇල්ල, පාලිත රංගේ බණ්ඩාර, ජේ.සී. අලවතුවල, නවීන් දිසානායක, ජෝන් අමරතුංග, දයා ගමගේ, ගාමිණි ජයවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, අජිත් මාන්නප්පෙරුම, තිලක් මාරපන, සිසිර කුමාර ,වඩිවේල් සුරේෂ්, ඩී.එම්. ස්වාමිනාදන්, වජිර අබේවර්ධන, විජයකලා මහේෂ්වරන්, ජයම්පති වික්‍රමරත්න, ලක්ෂ්මන් විජේමාන්න, රුවන් විජේවර්ධන, සරත් ෆොන්සේකා සහ එම්.එස් තවුෆික් යන මහත්වරුන් ද එම ලිපියට අත්සන් කර නොමැත. ලිපියට අත්සන් නොකළ වැඩි දෙනා වෙනත් පක්ෂවලින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ පුද්ගලයින් වන අතර බහුතරය විවිධ චෝදනාවලට ලක්වූවන් ය. අකිල් විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලසීමාවේ පෙළපොත්වල සිය රූපය යෙදීම, සුරක්ෂා රක්ෂණය, නිල ඇඳුම් වවුචර ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබේ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පොදු පෙරමුණු ආණ්ඩුවේ තනතුරු දරා පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වූ අයෙකි. අවුරුදු 79ක් වන ජෝන් අමරතුංග මහතා පක්ෂයේ අනාගතය තරුණයින් අතට පත්වීම ගැන දරණ ස්ථාවරය මෙවැනි ක්‍රියාවලින් පැහැදිලි වේ. පාලිත රංගේ බණ්ඩාර මහතා වාහන බලපත්‍ර අවභාවිතයක් ගැන අධිකරණයේ නඩුවක් පවා විභාග වූ අයෙකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග කොන්ත්‍රාත් කළ දයා ගමගේ මහතාට සමෘද්ධි මුදල් අවභාවිතය ගැන චෝදනා රැසක් මේ වන විට නැගී තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාව, පාවෙන විදුලි බලාගාර, පෞද්ගලික විදුලිය මිලදී ගැනීම් රවි කරුණානායක අමාත්‍යවරයා සමග කියැවෙන ප්‍රමුඛ අයථා ගනුදෙනු කිහිපයකි. ඇවන්ගාඩ් ගනුදෙනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වී නැවත පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිකම් ලබා ගත් තිලක් මාරපන මහතා ද මන්ත්‍රීවරුන්ගේ සාමූහික ලිපියට අත්සන් තබා නොමැත. වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා පක්ෂ මාරු කිරීමට නමගිය අයෙකි. පසුගිය ආණ්ඩුව සමයේ චෝදනාට ලක් වූවන්ට රැකවරණ දුන් බවට චෝදනා ඇති වජිර අබේවර්ධන මහතාට ඇවන්ගාඩ් ගනුදෙනු සම්බන්ධයෙන් ද විවිධ පාර්ශවවලින් චෝදනා නැගුණි. පිටස්තර පක්ෂයකින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ජයම්පති වික්‍රමරත්න මහතා 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රටම අවුල් කිරීමට හවුල් වූ බව නොරහසකි. එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් ජනාධිපතිවරණයට තරග කර පරාජය වී එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් වෙනත් පක්ෂයක් නිර්මාණය කර දැන් යළිත් එක්සත් ජාතික පක්ෂයට පැමිණ සිටින සරත් ෆොන්සේකා මහතා ද මන්ත්‍රීවරුන්ගේ සාමූහික තීරණයට අත්සන් තබා නොමැත.