අරුවක්කාලු වෙත කසළ රැගෙන ගිය ලොරි රථවලට ප්‍රහාරයක්

අරුවක්කාලු වෙත කොළඹ කසළ රැගෙන ගිය ලොරි රථවලට යළි ප්‍රහාරයක්

by Staff writer 21-08-2019 | 7:08 AM
COLOMBO (News 1st) - කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ප්‍රවාහනය කළ ලොරි රථ 28කට යළි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඉන් රථ 4කට හානි සිදුව ඇති බව ය. පුත්තලම සහ මනතිව් ප්‍රදේශ ආශ්‍රිතව සැඟව සිටි පිරිසක් අද අලුයම එම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලීසිය සැක පළ කරයි. සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. මේ අතර කොළඹ කසළ අරුවක්කාලු වෙත ප්‍රවාහනය සඳහා විධිමත් ආරක්ෂාවක් ලබා දෙන්නැයි කොළඹ මහ නගර සභාව වැඩබලන පොලිස්පතිවරයාගෙන් පසුගිය 19 වන දා ඉල්ලීමක් කළේ ය. නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කළේ, වරින් වර සිදු වන බාධා කිරීම් සැලකිල්ලට ගෙන එම ඉල්ලීම කළ බව ය. ඊට අදාළ ලිපිය පසුගිය 19 වන දා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය. කොළඹ කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ කිහිපයකට පෙරේදා අලුයම ද ප්‍රහාරයක් එල්ල විය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. කසළ ප්‍රවාහනය කෙරෙන මාර්ග හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.