JMI සාමාජිකයින් දෙදෙනෙක් රඳවා තබා ප්‍රශ්න කෙරේ

JMI තහනම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙක් රඳවා තබා ප්‍රශ්න කෙරේ

by Staff writer 20-08-2019 | 11:47 AM

COLOMBO (News 1st) - අත්අඩංගුවට පත් ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් තහනම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනා දින 3 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන්ගෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ලද පුහුණුවීම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවය. දින තුනක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා ඔවුන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දීමට පියවර ගන්නා බව ද පොලීසිය ප්‍රකාශ කළේය. සැකකරුවන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය ප්‍රදේශයේදි අවි පුහුණුව ලබා ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් ඊයේ අම්පාර ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට පත් වු අතර ඔවුන් ගෙලිඔය සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මේ අතර NTJ හෙවත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන නවුෆර් මවුලවිගේ පුත්‍රයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහු ඊයේ අම්පාර මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලීසිය සඳහන් කළේ, සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර පාපොච්චාරණයක් ලබා ගැනීමට නියමිත බවය. මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නැමති මෙම සැකකරු නුවරඑළිය ප්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බව සිදු කරන ලද මුලික විමර්ශනවලදී අනාවරණ විය.